නිවෙස් තුළ මියයන අයගේ මෘතදේහ බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 26 වනදා නිකුත් කර ඇති ලිපිය කොවිඩ් රෝග පාලනයට බරපතළ බාධාවක් වියහැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු හඟවයි.
"දැනට කොවිඩ් - 19 මෘතදේහ බැහැර කරලීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 26 වනදා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් නිකුත් කරලා තියෙනවා, නිවෙස් තුළදී මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් කටයුතු කළ ආකාරය ගැන.
දැනට අපි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නෙ නිවසක මියගියොත් අදාළ කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ඒ මරණය සම්බන්ධව, මරණකරු සම්බන්ධව සහ නිවැසියන් සම්බන්ධව වාර්තාවක් ලබාගෙන තමයි ඒ මෘතදේහය සම්බන්ධ ඉදිරි කටයුතු කරන්න බොහෝ ස්ථානවල කටයුතු කරන්නෙ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදීලා තියෙන ලිපිය අනුව මින් ඉදිරියට හදිසි මරණ පරීක්ෂකට යම් සීමාවන්ට යටත්ව මේ මෘතදේහ නිදහස් කිරීමේ හැකියාව තිබෙනවා. ඒවගේම ග්‍රාම නිලධාරීටත් මේ මෘතදේහ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනවා වගේම ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ වාර්තාවක් ලබානොගෙන මෘතදේහ නිදහස් කළ හැකියි කියලා.
අපි දන්නවා අහඹු ලෙස මියයන බොහෝ අයගේ මෘතදේහ රෝහල්ගත කළාම වැඩි ප්‍රතිශතයක් කොවිඩ් - 19 ආසාදිත බවට පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වෙනවා. එහෙම තහවුරු වුණාම අපි ඒ නිවැසියන් ආරක්ෂා කරගන්නවා, ඔවුන්ගෙන් අනිත් අයට පැතිරීම වළක්වා ගන්නවා, ඒවගේම ඒ ප්‍රදේශයේ පැතිරීම වළක්වා ගන්නවා. මින් ඉදිරියට එහෙම මෘතදේහ පරීක්ෂාවලින් ආසාදිතයින් හමුවීම ඉතාම අඩුවෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සෞඛ්‍ය ලේකම්වරයා මේ ලිපිය ගැන මීට වැඩිය අවධානය යොමුකරයි කියලා. ක්ෂේත්‍රයේ අවාසනාවන්ත විදියට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්, හඳුනාගන්න නොහැකි වෙන්න පුළුවන් ඔවුන් සමාජයේ සැරිසරන්න පුළුවන්. ඒවගේම මෙසේ නිදහස් කරපු මෘතදේහයක් නිසා කොවිඩ් ආසාදනයක් ඒ නිවස තුළ පැය 24ක් තබාගැනීමේදී පැතිරයන්න පුළුවන්, නිවැසියන්ගෙන් ගමේ අනිත් ප්‍රදේශවලට බෝවෙන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)