Sunday, August 03, 2025
Follow Us
දීමනාව කඩිනම් නොවුණොත් සෞඛ්‍ය සේවකයෝ වර්ජනයට

වෛද්‍ය වෘත්තිකයන් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අනුමත කළ රුපියල් හත්දහස් පන්සීයක (7500) දීමනාව පළාත් සභා හයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙතෙක් ගෙවා නැති බව අනාවරණය වෙයි.

බස්නාහිර, වයඹ, ඌව, මධ්‍යම, උතුර සහ නැගෙනහිර යන පළාත් සභාවල මෙලෙස ගෙවීම් කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි. මැයි මස පළමු වැනිදා සිට ජුලි මස 31 වැනිදා දක්වා කාලය ආවරණය වන පරිදි මෙම දීමනාව ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.

කඩිනමින් මුදල් ගෙවීමට පළාත් සභා අපොහොසත් වුවහොත් සියලුම සෞඛ්‍ය සේවකයන් ඒකාබද්ධව වැඩ වර්ජන දියත් කිරීමට සැලසුම් කර ඇත. එහි පළමුවැන්න දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් අද (29 වැනිදා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් පළාත් ආණ්ඩුකාර විලී ගමගේගේ උපදෙස් මත දීමනාව ගෙවීමට පියවර ගැනීම හේතුවෙන් වර්ජනය නතර කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික රවි කුමුදේශ් කියා සිටියේය. ජුලි මස පළමු දින ඌව පළාතේද, ජුලි මස පස් වැනි දින බස්නාහිර පළාතේ ද සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය කිරීමට සූදානමින් සිටින බවද ඔහු අනාවරණය කළේය. වර්ජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත් කර තිබේ.

(Aruna)