Sunday, August 03, 2025
Follow Us
අරක්කු බෝතල ස්ටිකර් ඇලවීම කල් යයි

මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහතික කිරීම සඳහා විශේෂ කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවලිය එළැඹෙන ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ‘අරුණ’ ට පැවසීය.


2021 ජූලි 01 වැනිදා සිට මෙම ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ආරම්භ කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබුණු නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පැන නැගුණු ප්‍රායෝගික ගැටලු මත එහි ආරම්භය කල් යනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

​මෙම ස්ටිකර් ඇලවීමේ ව්‍යාපෘතිය භාරදී ඇති ඉන්දීය සමාගම අසාදු ලේඛනගත කර ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් විශේෂ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

‘‘ඉන්දීය සමාගම ඒ පිළිබඳව සකස් කළ වාර්තාවක් මේ වනවිට මුදල් අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. අමාත්‍යාංශය ඒක ප්‍රසිද්ධියට පත් කරයි. අපට දැනට ඒ ගැන මුකුත් කියන්න බැහැ.’’

මත්පැන් බෝතල්වල ඇලවීමට නියමිත ස්ටිකර් පරීක්ෂා කිරීම සඳහා සුරාබදු නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් විශේෂ කේත පරීක්ෂණ යන්ත්‍ර (BarCorde Readers) 100කට වැඩි සංඛ්‍යාවක් සිය දෙපාර්තමේන්තුවට ලබාදීමට සූදානම් බවද ස්ටිකර්වල අන්තර්ගත කේතයන් පරීක්ෂා කිරීම සඳහා සකස් කෙරුණු විශේෂ දුරකථන යෙදුමක් (App) කඩිනමින් පාරිභෝගිකයන් වෙතද ලබාදෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)