එංගලන්ත තරග සංචාරය සඳහා එක්වන විට එය ලෙහෙසි නොවන බව දැන සිටි බවත්, පිතිකරුවන් තරගාවලි පරාජයේ වගකීම භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එංගලන්තය සමග පැවැති තෙවැනි තරගය ලකුණු 89කින් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ලජ්ජාසහගත ලෙස පරාජය වීමෙන් අනතුරුවය.
එහිදී අදහස් දක්වා සිටි කුසල්……
‘අපි දැනගෙන සිටියා මේ තරගාවලිය ලෙහෙසි නොවන බව. අපේ පිතිකරණය මේ තරගාවලිය පුරාවටම බලාපොරොත්තු වන මට්ටමක තිබුණේ නැහැ. ඔවුන්ට පන්දුවේ වේගය සහ ඉපිලීම හමුවේ හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුණා. පිතිකරුවන් වශයෙන් අපි මෙම ප්‍රතිඵලයේ වගකීම භාරගත යුතුයි.’ යනුවෙන් කියා සිටියේය.
දෙරට අතර පැවැති තුන්වැනි තරගයේ කඩුලු 6ක් දැවී එංගලන්තය ලබාදුන් ලකුණු 180ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 18.5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 91ක් පමණි. ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ මෙය සිවුවැනි දුර්වලතම පිතිහරඹය ලෙසින් සටහන් වූයේය.
විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ තරග 14න් 12ක් පරාජය වී තිබෙන අතර පෙරේදා (26 වැනිදා) එංගලන්තය හමුවේ පරාජය වූයේ පිට පිට ලද පස්වැනි තරගාවලි පරාජයයි. මෙම පරාජයන් අතරින් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පත් වීමෙන් අනතුරුව සහභාගි වූ තරග 12න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
නව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා සහභාගි වූ සෑම මාධ්‍ය හමුවකදීම නිර්භය ක්‍රිකට් හෙවත් භය නැතිව ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බව පැවසුවද, එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුව පිත්තේ වද්දා ගැනීමත් පහසු වුයේ නැත. ඒ හේතුවෙන් තරගාවලියේ පැවැති අවසන් තරගයේදී පමණක් එංගලන්ත පන්දු යවන්නන් නිලකුණු පන්දු 65ක් යවා තිබුණි.
තුන්වැනි තරගයේදී දුෂ්මන්ත චමීර සිය පන්දුවාර හතරේදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් වූ එකම සුබදායී කාරණය වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ පන්දුවාර 4ට එංගලන්ත පිතිකරුවෝ ලකුණු 55ක් ඩැහැගත්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 ඉක්මවා යෑමට පිතිකරුවෙකුට හෝ නොහැකි වූ අතර ඕෂධ ප්‍රනාන්දු (19), නිරෝෂන් දික්වැල්ල (11) හා බිනුර ප්‍රනාන්දු (20) හැරුණු විට සෙසු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාවට පැමිණිය නොහැකි විය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හයේ පහර තුනකුත් හතරේ පහර හතරකුත් පමණක් වාර්තා වී තිබිණි.
පෙරේදා (26 වැනිදා) පැවැති තරගයේ හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමගින් පන්දු 48කදී ලකුණු 76ක් රැස්කළ ඩේවිඩ් මලාන් තරගයේ වීරයා බවට පත් වූයේය. දිගින් දිගටම දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය සෑම් කරන් වෙත හිමි විය.
(Aruna)