Sunday, August 03, 2025
Follow Us
තිස්ස වැවේ ප්‍රතිසංස්කරණය කටයුතු නවතයි

තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා නොගැනීම නිසා එම කටයුතු වහා නවතා දමන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යවා තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගේ උපදෙස් පරිදි මෙම ලිපිය නිකුත් කර ඇති අතර මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ චීන සමාගම විසින් නවතා දැමීමට කටයුතු කර තිබේ.

වාරි සෞභාග්‍යයා වැව් අමුණු හා වාරි කෘෂි ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය මුදල් යෙදවීමකින් තොරව තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය දා ආරම්භ කෙරුණේ වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් විසින් සිදුකරණු ලැබීය. මෙහිදී මෙහි සේවය සඳහා සිටි චීන ජාතිකයින් යුද හමුදා ඇඳුමට සමාන කැලෑ ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන් එය බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට හා විවේචනයටද ලක්විය.

දකුණු ලක පිහිටි විශාලතම ස්ථූපය ලෙසින් සැළකෙන ඓතිහාසික තිස්සමහාරාම වෙහෙර වහන්සේ ආසන්නයේ වැව පිහිටා තිබීමත්, තිස්සමහාරාම වැව 03 වෙනි ශත වර්ෂයේ දී රුහුණේ රජකම් කළ මහානාග නම් රජතුමා විසින් ඉදිකරන ලද බවට සැළකීමත් හා පැරණි මාගම නගරය වැව් ඉස්මත්තේ පිහිටා තිබීමත් හා එහි බොහෝ පුරාවස්තු සේදී ගොස් වැව් පතුලේ තැන්පත්ව ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන් තුළ ඇති විශ්වාසයත් හේතුවෙන් වැවෙහි කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළද ඒ සඳහා පුරාවිද්‍යා බලධාරීන්ගේද අවසරය හිමිවිය යුතුය.

පුරාවිද්‍යා නිලධාරීන්ගේ දැනුම් දීමට අනුව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ චීන සමාගම විසින් නවතා ඇති නමුත් මේ වන තෙක් ඒ සඳහා නිසි අවසරයක් ලබා දෙන ලෙස කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලීම් සිදුකර නොමැති බවද අනාවරණය වෙයි.
(Aruna)