රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.
තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය දෑඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කර තිබේ.
ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.
සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණි.
(Aruna)