Thursday, August 07, 2025
Follow Us
15 හැවිරිදි දැරියක් ලක්ෂ ගණනකට අලෙවි කළ සිව්දරු පියා අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට යොමුකළ පුද්ගලයකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (7 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචි 35 හැවිරිදි මෙම සැකකරු පෙරේදා (8) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලින් පරීක්ෂක දිලීප පෙරේරා වෙත ලද තොරතුරකට අනුව ගල්කිස්ස ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කර රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කරලා
ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් රුපියල් හැටපන්දහසක මාසික කුලියට ලබා ගනිමින් මෙම දැරිය තමන් හා රඳවා ගනිමින් ඇයගේ ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කර රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කර තිබෙන බවත් පසුගිය ජනවාරි මාසයේ සිටම මොහු විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

විනාඩි 10 කට රුපියල් දසදහස බැගින් අයකරගෙන
අන්තර්ජාලයේ වෙබ් පිටුවක් මගින් දැරිය ප්‍රසිද්ධ කර ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ ඇමතුම් මගින් පෙන්වීම සඳහා විනාඩි 10 කට රුපියල් දසදහස බැගින් අයකරගෙන තිබෙන බවත් විවිධ පුද්ගලයන් වෙත ඇයව රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කර තිබෙන බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

දැරියගේ ධනපතියකුට රුපියල් ලක්ෂ 21කට අලෙවි කරලා
සිව්දරු පියකු වන මෙම සැකකරු දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රූමත් කාන්තාවක වන මෙම දැරියගේ මව මීට පෙරාතුව මෙවන් ජාවාරම් සඳහා යොදාගෙන තිබේ. ඇය එක්තරා ධනපතියකු වෙත රුපියල් ලක්ෂ 21 කට අලෙවි කර තිබෙන බව අනාවරණය වේ. ඇයව විවිධ පුද්ගලයන් වෙත රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කර තිබෙන බවත් වැඩිදුර විමර්ශන මගින් අනාවරණය වී ඇත.

සැකකරු වෙත මෙම දැරිය බාරදී ඇත්තේද දැරියගේ මව බවත් ඇයද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇතැයි සැකකරන බවත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු ‘අරුණ’ ට ඊයේ පැවැසීය. එමෙන්ම බාලවයස්කාර දැරිය මේ ආකාරයෙන් අන්තර්ජලය මගින් මිලදී ගත් පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන කර සිටිති.

එමෙන්ම මේ ආකාරයෙන් බාලවයස්කාර දැරියන් හා කාන්තාවන් ජාවාරම් කිරීමේ සිද්ධීන්වලට අදාළව සැකකරුට එරෙහිව ගම්පහ හා මහනුවර අධිකරණවල නඩු කිහිපයක්ද විභාග වේ.

මෙම දැරිය මේ වනවිට කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

(Aruna)