Thursday, August 07, 2025
Follow Us
හම්බන්තොට ලේවායේ මහා පරිමාණ ලුණු ජාවාරමක්

හම්බන්තොට ලේවායෙන් නිකුත් කරන ලුණු තොග සම්බන්ධයෙන් සිදුවන මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා හම්බන්තොට ලුණු ලේවායේ විගණන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 03 වැනිදා හා 06 වැනිදා හම්බන්තොට ලුණු ලේවායෙන් යාපනය හා කල්මුණේ ගැනුම්කරුවන් සඳහා බිල්පත් නිකුත්කර ලොරිවලට පටවන ලද ලුණු තොග එම ප්‍රදේශයන්ට නොයවා හම්බන්තොටම සැඟවීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉකුත් 03 වැනිදා යාපනය ප්‍රදේශයේ ගැනුම්කරුවකු වෙත හම්බන්තොට ලුණු ලේවායෙන් කිලෝ 1 සහ ග්‍රෑම් 400ක් වන ලුණු පැකට් ටොන් 20 ක ප්‍රමාණයක් නිකුත් කර තිබිණි.එම ලුණු තොගය 42-0645 දරන ලොරියෙන් යාපනය දක්වා ගෙනයාමට සුදානම් කර තිබූ බව ලේවායෙන් ලබාදුන් බලපත්‍රයේ සඳහන්ය.

කෙසේවෙතත් ජුනි 4 වැනිදා මෙම ලුණු පටවාගත් ලොරිය හිමිකරුගේ නිවසේ ගබඩාවක තිබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එම ස්ථානයට ගොස් පරීක්ෂාවට ලක්කළහ.එහිදී පෙරදින ලුණු පටවාගත් ලොරිය ලුණු තොගය රහිතව ගබඩාවේ තිබියදී සොයාගෙන ඇත.

ලුණු තොග පටවා අවසන් වූ පසු ලේවායෙන් ලොරියේ පිටුපස තබන මුද්‍රාවද කඩා දමා තිබියදී සොයාගැනීමට හැකි විය.මේ සම්බන්ධයෙන් ලොරියේ හිමිකරුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලොරියේ සිදු වූ දෝෂයක් නිසා එම ලුණු තොගය වෙනත් ලොරියක පටවා යාපනය ප්‍රදේශයට පිටත්කර යැවූ බවයි.එහෙත් නිලධාරීන් ලේවායෙන් තබන ලද මුද්‍රාව ලේවායේ බලධාරීන් දැනුවත් කිරීමකින් තොරව කඩා දැමීමක් සිදුකළේ කෙසේද යන්න විමසීමේදී ලොරි හිමිකරු පවසා සිටියේ ඔහු මීට පෙරද මෙවැනි දේ කර ඇති බවය.

අනතුරුව නිලධාරීන් යාපනය ප්‍රදේශයේ ලුණු ගැනුම්කරුව සම්බන්ධකර ගනිමින් තමන්ට අදාළ ලුණු තොගය ලැබී තිබේද යන්න වීමසු අතර එහිදී ලුණු තොග හිමිකරු පවසා සිටියේ ලුණු ටොන් 10 ක ප්‍රමාණයක් තමන්ට උදැසන ලැබුණු බවයි.ඉතිරි ලුණු තොගය සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමට ලේවායේ විගණන නිලධාරීන්ද එම ස්ථානයට කැඳවීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු කටයුතු කළහ.

අනතුරුව මෙම ස්ථානයේ සිදු වූ ලුණු තොග වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ලේවායේ විගණන නිලධාරීන්ට බාර දීම සිදුකෙරිණි.

කෙසේවෙතත් මෙලෙස ලුණු වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙමින් පවතින අතරවාරයේදී නැවතත් කල්මුණේ ප්‍රදේශයේ ගැනුම්කරුවෙකු වෙත හම්බන්තොට ලුණු ලේවායෙන් නිකුත් කරන ලද ලුණු ටොන් 15 ක තොගයක් කල්මුණේ ප්‍රදේශයේ ගැනුම්කරුට නොයවා බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ ගබඩාවක සගවා තැබීමට කටයුතු කර තිබිණි .

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා බෙලිඅත්ත පොලීසිය මෙම ස්ථානයට ගොස් පරීකෂා කිරීමේදී අදාළ ලුණු තොගය එම ගබඩා වේ තිබියදී සොයා ගැනීමට හැකි විය.

පසුව එම ගබඩා සේවා ස්ථානයේ සේවකයකු මාර්ගයෙන් ගබඩාවේ හිමිකරු සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසීමේදී අනාවරණය කර ගත හැකි වූයේ එම ලුණු තොගය හම්බන්තොට ලුණු ලේවායේ සිට ජුනි මස 06 වැනිදා රාත්‍රී මෙම ස්ථානයට රැගෙන ආ බවය.එම ලුණු තොගය මෙම ස්ථානයේදී පරීක්ෂණ කටයුතු සඳහා ගැනීමට ගත් බව ඔහු නිලධාරීන්ට පවසා තිබිණි.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට හෝ මෙවැනි ආකාරයේ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාමට අදාළ බලපත්‍රයක් පවතින්නේද යන බව කළවිමසීමේදී ඔහු කියා සිටියේ නැත යන්නය.

ඒ අනුව මෙම ස්ථානයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අංශ කිහිපයක් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බවත් එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙම ස්ථානය මුද්‍රා තැබීමටද කටයුතු කළ බවත් නිලධාරීහු පැවසූහ.

හම්බන්තොට ප්‍රදේශයේ ලුණු සමාගමේ හිමිකරුවකු පැවසුවේය. ලුණු ලේවායේ ඉහළ නිලධාරීන්ගේ සිට සියලුම දෙනා මෙම ජාවාරමට සම්බන්ධ බවය.මෙලෙස ලුණු තොග සගවා රට තුළ නැති ලුණු හිඟයක් මවා පෑමට මොවුන් උත්සහ දරන බවත් පවසයි.

(Aruna)