Friday, August 08, 2025
Follow Us
සහන මල්ල නොලැබුණොත් කියන්න දුරකථන අංකයක්

හුදෙකලා කරන ලද ප්‍රදේශ සහ වෙනත් ප්‍රදේශයන්හි නිවෙස්වල නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙන සහන මල්ල නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 1965 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන්නැයි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපති දිනිප්‍රිය හේරත් ප්‍රකාශ කළේ නිවෙස්වල දින 14ක් නිරෝධායනය වන පවුල් සඳහා එකවර රුපියල් දසදහසක බඩු මල්ලක්ද හුදෙකලා කර ඇති ප්‍රදේශවල පවුල් සඳහා සතියකට රුපියල් පන්දහසේ බඩු මල්ලක් ලබාදෙන බවය.

එමෙන්ම සංචරණ කාල සීමාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ජංගම රථ අදාළ ප්‍රදේශවලට නියමිත පරිදි නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳවද 1965 කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි වේ.

කෙසේ වෙතත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජංගම වෙළෙඳාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තවමත් සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

සංචරණ කාල සීමාවේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී මහජනතාවට පැන නගින ගැටලු සම්බන්ධයෙන් විමසීම සඳහා 1965 කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (24 වැනිදා) විවෘත කෙරිණි

(Aruna)