Tuesday, February 17, 2026
Follow Us
කථානායකගේ ගේ ළඟ ‘ඩෝප් සීන්’ දාලා තිදෙනෙක් අත්අඩංගුවට

නව කථානායකවරයාගේ දෙහිවල පිහිටි නිවස අසල රැඳෙමින් බීමත්ව කෑගසමින් පීඩාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (20 වැනිදා) රාත‍්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.

එම කථානායක නිවසේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දෙහිවල පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එහි ගිය නිලධාරීන් විසින් මෙම පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.

මෙම තිදෙනා කථානායක නිවස ආසන්නයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නියුතු සේවකයන් බව හෙළිවිණැයි ද පොලීසිය කියයි.

මෙම තිදෙනා එම ගොඩනැගිල්ලේ පෙරේදා (20) දිනයට අදාළ වැඩ නිමවීමෙන් පසු මත්පැන් පානය කර මෙලෙස කථානායක නිවස අසලට ගොස් කෑගසමින් බැණවදිමින් පීඩාකාරි ලෙස හැසිරී ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 23 ත් 40 ත් අතර වයසේ පසුවන අනුරාධපුර, මැදවච්චිය හා කොළඹ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

මෙම තිදෙනාව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දෙහිවල පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

(Lanka Leads)