Monday, August 10, 2026
Follow Us
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

විභාග දෙපාර්තමේන්තුවේ  අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ අතර ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද පැවසුවාය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.

මේ අතර, අද ආරම්භ වූ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.