Sunday, August 09, 2026
Follow Us
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා- අගමැතිනිය
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැපවන බවත්, වසර ගණනාවක සිට වැදිජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්ය මණ්ඩලයට යොමු කළ අතර ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
“ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම” යන්න තේමා කර ගනිමින් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්රයේ අද (අගෝස්තු 09) පැවැති "ලෝක ආදිවාසී දිනය 2026" සැමරුම් උත්සවයට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
ලෝක ආදීවාසී දිනය වෙනුවෙන් අග්රාමාත්යතුමිය විසින් දඹාන ආදිවාසී වැදි ගම්මානයේ ඖෂධීය පැළයක් සිටුවීම සිදු කළ අතර අනතුරුව ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නැරඹීමට ද එක් වූවාය. පාරම්පරික වින්නඹු මාතාවන් අගයමින් සංකේත සහ ත්යාග පිරිනැමීමෙන් අනතුරුව ආදීවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්රී ලංකා ආදිවාසී ප්රජා ප්රකාශනය අග්රාමාත්යතුමිය වෙත පිළිගැන්වීමද සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය,
ආදිවාසී ​වැදි ජනතාව කියන්නේ පරිසරය සමඟ සමගාමීව ජීවත්වෙමින් පරිසරයම තම නිවහන කරගත් ප්රජාවක්. ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩද්දී මුළු වදයම විනාශ නොකිරීම, අල ගලවන විට නැවත පැළවෙන කොටස පසට එකතු කිරීම වැනි සරල නමුත් ගැඹුරු පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළම මුසු වී තිබුණා.
​මම අසා තියනවා, හිටපු ආදිවාසී වැදි නායක තිසාහාමි ඇත්තන්ට වරක් රාජ්ය නායකයෙකු විසින් නිල මැදුරක් සහ ඉඩකඩම් ලබා දීමට කළ ආරාධනය, වැදි ජන සංස්කෘතියේ ආරක්ෂාව සහ වැදි පරම්පරාවේ අනාගත පැවැත්ම වෙනුවෙන් එතුමා ප්රතික්ෂේප කර තිබෙනවා. පෞද්ගලික වරප්රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම අප සැමටම මහඟු ආදර්ශයක්. අපගේ අනාගත පරම්පරාවට පරිසරයට ආදරය කරන යහපත් සමාජයක් නිර්මාණය කර දීමට නම්, අපි වැදි ජනතාවගේ සරල ජීවන රටාවෙන් සහ පරිසර හිතකාමී සංකල්පවලින් ආදර්ශ ලබාගත යුතුයි.
අපේ රටේ ක්රියාත්මක කළ සමහර ​සංවර්ධන යෝජනාක්රම සහ ජාතික වනෝද්යාන ප්රකාශයට පත්කිරීම වැනි කරුණු හමුවේ ආදිවාසී වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික වනාන්තර භූමීන් මෙන්ම නිදහස් ජීවන රටාවත් අහිමි වී යාමේ තර්ජනයට ලක්වී තිබෙන බව අපි දන්නවා.
ආදීවාසී වැදි ජනතාවගේ අනන්යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වඳවී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා. අපි රජයක් මෙන්ම සමාජයක් ලෙසත් මේ ප්රශ්නය දෙස බොහොම සංවේදීව සහ වගකීමෙන් බැලිය යුතුයි.
සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක්.
​රජයක් ලෙස ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තිරසාර ජීවනෝපාය, අධ්යාපනික හා සෞඛ්ය පහසුකම් ලබාදීමටත් කැපවෙන අතරම, ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.
​වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කරගැනීම පිළිබඳව විවිධ රජයන් සමඟ සාකච්ඡා කළත්, එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය, විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවි ඇමතිතුමාගේ මැදිහත්වීම මත, අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පනතක් සම්මත කරගැනීමට අදාළ සියලු අමාත්යාංශ, ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා.
ඒවගේම පවතින අණපනත් සමඟ ගැටුමක් ඇති නොවන විදිහට නීතිමය පදනම තහවුරු කරමින් සිදු කළයුතු සංකීර්ණ ක්රියාවලියක්. ඒ වෙනුවෙන් අවශ්ය කමිටු පත් කරමින් මෙම සතිය තුළ අදාළ පනත පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
​ඒ වගේම, පරිසර විෂයභාර අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් වැදි ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන වනාන්තරයට ඇතුලු වීමට අවසරය ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම, නීත්යානුකූළ හැදුනුම්පතක් ලබාදීම, ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තැබීම සිදු කළා. මෙතෙක් ආදිවාසී වැදි ජනතාව මුහුණ දුන් ගැටලු රැසකට මෙමගින් ස්ථීර විසඳුම් ලැබෙනවා, ආදීවාසී වැදි ප්රජාවගේ අයිතිවාසිකම් මෙන්ම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත්, දෛනික ජීවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යාමටත් මෙමගින් අවස්ථාව හිමිවෙනවා.
​අපේ රජය බලයට පත්වීමෙන් පසු රට පරිවර්තනීය යුගයකට ගෙන යාම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සියලු ක්ෂේත්ර ආවරණය වන පරිදි අවශ්ය ප්රතිසංස්කරණ සිදු කරමින්, ගෝලීය අර්බුද සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතරම, රටේ සංවර්ධනය සහ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීමට කටයුතු කරනවා.
​මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව නිසා ආදිවාසී වැදි ජනතාවද දැඩි පීඩාවට පත් වුණා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කළත්, ඇතැම් ප්රදේශවල රාජ්ය යාන්ත්රණයේ පැවති ප්රමාදයන් සහ යම් යම් ගැටලු නිසා සහන ලැබීමේ ප්රමාදයක් සිදු වූ බව අප පිළිගන්නවා. ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කරමින්, එම සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ශ්රී ලාංකේය අනන්යතාව සුරකිමින්, පරිසරය ආරක්ෂා කරමින් සහ සංචාරක ක්ෂේත්රයේ ප්රගමනයට දායක වන ආදිවාසී වැදි ජනතාවට නිසි ගෞරවය ලබා දෙමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබැවින්ම පෙනී සිටීමට රජය සූදානම් බවද අග්රාමාත්යතුමිය පැවසුවාය.
ආදිවාසී දිනය වෙනුවෙන් අදහස් දැක් වූ ආදිවාසී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ මෙසේ පැවසුවේය.
 
රටක පැවැත්මට නීති අවශ්යයි. නමුත් ඒ නීති සකස් කරද්දි රටේ ජනතාව ගැන ජාතීන් ගැන වගේම සංස්කෘතීන් ගැන අවධානයෙන් නීති සකස් කරන්න ඕන. අපි පැවති රජයන් බොහෝමයක් සමග අපිට ඇතිවී තිබෙන ප්රශ්න ගැන සාකච්ඡා කළා. නමුත් කිසිම විසදුමක් ලැබුණේ නැහැ. නීතිමය තත්වයයතන සමඟ සාකච්ඡා කළා නමුත් ඒ ආණුඩු මාරුවෙලා ගියා විතරයි අපේ ප්රශ්න විසදුනේ නැහැ. වත්මන් රජය ආවට පස්සේත් අපි අපේ ගැටලූ ඉදිරිපත් කළා අපේ ගැටළු පිලිබඳ අවධානය යොමු කරන්න ඒවගේම ඒ නීති සකස් කරද්දී අපේ අදහස් සැලකිල්ලට අරගෙන ඉදිරි කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා යැයි වැදිනායක වන්නිලැත්තන් පැවසීය.
 
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න, බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදත් බලගල්ල, දිස්ත්රීක් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු රාජ්ය තාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් සහ ආදිවාසී ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.