අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක්
මැයි අග දක්වා අඛණ්ඩ බලශක්ති සහ ඉන්ධන සැපයුමක් සහතික කරනවා
ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය සඳහා රජයෙන් රුපියල් කෝටි 6000ක්
ධීවර ප්‍රජාවට සාමාන්‍ය බෝට්ටුවකට මසකට රුපියල් 31,250 බැගින් සහ බහුදින යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක ඉන්ධන දීමනාවක්
යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට
ඒ වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 1.7ක්
යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000 සිට 30,000 දක්වා ඉහළට
අතිරේක බෝග සඳහා ලබා දෙන රුපියල් 15,000ක පොහොර සහනාධාරය 18,000 දක්වා වැඩි කෙරේ
ඒකක 90ට වඩා අඩු විදුලි බිල් සඳහා සහනාධාරයක්. ඒ සඳහා මසකට රුපියල් කෝටි 500 බැගින් මාස 03කට කෝටි 1500ක් වෙන් කෙරේ
අප්‍රේල් මාසයේදී රුපියල් 17,500ක අස්වැසුම දීමනාව රුපියල් 25,000 දක්වාත්,
රුපියල් 10,000ක දීමනාව රුපියල් 15,000 දක්වාත්,
රුපියල් 5000ක දීමනාව රුපියල් 7,500 දක්වාත් ඉහළට
මෙම සහන ලබා දෙන්නේ මුදල් මුද්‍රණය කර හෝ ණය ලබා ගෙන නොවෙයි. උදා කර ගත් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගන්නා අතරතුරයි
ජනපති පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි
නව ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2026-04-07) පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව
විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය සමඟ මතු වී තිබෙන තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් යම් පීඩාකාරී තත්ත්වයට පත්ව සිටිනවා. ඒ නිසා රජයක් ලෙස අපේ වගකීම වන්නේ ඒ පීඩාකාරී තත්ත්වයට පත්ව සිටින පිරිස පිළිබඳ අවධානය යොමු කර යම් සහනදායී වැඩසටහනක් ආරම්භ කිරිමයි. මෙහිදී අප ආකාර දෙකක් පිළිබඳ අවධානය යොමු කළා.
මේ අර්බුදය මතු වන තැන් දෙකක් තමයි, ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්රය. එහිදී අපිට ඉන්ධන පිරිවැයට ගළපා අලෙවි කිරීමට හැකියාව තිබෙනවා. එය එක් කරුණක්. මොකද විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමේ ප්‍රතිවිපාකවලට අපි රටක් ලෙස මුහුණ දුන්නා. ඒ නිසා ඉන්ධන පිරිවැයට ගළපා වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කිරීම එක් යෝජනාවක්. දෙවැනි යෝජනාව වන්නේ ඉන්ධන පිරිවැයටම ගළපන්නේ නැතිව යම් සහනාධාර ක්‍රමයක් යෙදවීමයි. පළමු ක්‍රමය අපි ක්‍රියාත්මක කළොත් භාණ්ඩාගාරයටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, විදුලිබල මණ්ඩලයටත් බලපෑමක් ඇති වන්නේ නැහැ. හැබැයි අපේ ආර්ථිකයට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මෙහි තුලනාත්මක තැනක් අපි සොයා ගත යුතුව තිබුණා.
ඒ අනුව අපි බැලුවා ඉන්ධන මිල ඉහළ යාම අනුව, වෙළෙඳපොළේ මිලට ගියොත් ඩීසල් ලීටරයක් රුපියල් 600 ඉක්මවනවා. ඒ රුපියල් 600 ඇතුළේ රුපියල් 50ක බද්දක් තිබෙනවා. මම දැක්කා ඇතැම් අය ඒ රුපියල් 50 අයින් කරන්න කියලා යෝජනා කර තිබෙනවා. හැබැයි ඒ බද්ද අයින් කළොත් රුපියල් 50කින් තමයි ඩීසල්වලට බලපෑමක් ඇති වන්නේ. එහෙත් අපි කල්පනා කළේ එය නොවෙයි, බද්ද එසේම තිබෙන ගමන් අලෙවි වන සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100 දක්වා මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කිරීමට. ඒ කියන්නේ එළැඹෙන මැයි පළමුවන දා හෝ ඒ ආසන්න දිනකදී නැවත ඉන්ධන පිරිවැය ගාස්තුව අපි ගෙන එනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ තිබෙන ඇත්ත දත්ත මතයි. එවිට ඊළඟ ඉන්ධන ගැළපුම් ගාස්තුවේදී, ඇත්ත ගාස්තුවට ගණනය කර ඩීසල් ලීටරයට රුපියල් 100 දක්වා සහනාධාරයක් ලබා දීමට. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 දක්වා සහනාධාරයක් ලබා දීමට. ඒ සඳහා මාසයකට රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. මාස 03ක් සඳහා අපි මෙම යෝජනාව සකස් කර තිබෙනවා. ඒ අනුව, මේ ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය සඳහා අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරනවා. එය ඉතා වැදගත්. අපි මෙහි මුළු බරම ජනතාව පිට පටවන්නේ නැහැ.
මූලධර්මයක් ලෙස අපි සහනාධාර ලබා දිය යුතු වන්නේ ඉලක්කගත ප්‍රජාවටයි. හැබැයි, අපට මේකට නිවැරදි දත්ත ක්‍රමවේදයක් නැහැ.ඒ අනුව තමයි අපි තීරණය කළේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළෙඳපොළ මිලට ගැළපීමට. හැබැයි ඉතිරි ඒවා ගළපන්න බැහැ. අපි විවිධ ආකාරයෙන් මේ පිළිබද අවධානය යොමු කළා. ඒ නිසා රජය පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වියදමක් දරනවා.
ඒ වගේම, තෝරා ගත් ජන ප්‍රජාව, විශේෂයෙන් ධීවර ජනතාව ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යය බවට පත් කර ගෙන තිබෙනවා. එවිට පෙර සහනාධාරයට අමතරව ධීවර ජනතාවට තව සහනාධාරයක් ලබා දිය හැකිද? ඒ අනුව, අපි කල්පනා කළ සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් කවර ඉන්ධනයක් භාවිත කළත් පෙර රුපියල් 100ට අමතරව තවත් රුපියල් 50ක අඩු වීමක් ලබා දීමට. සාමාන්‍ය බෝට්ටුවකට දවසට ලීටර් 25 ගණනේ දවස් 25කට ලීටර් 625ක් ලබා දෙනවා රුපියල් 50ක් අඩුවෙන්. ඒ රුපියල් 50 ආණ්ඩුව ඔවුන්ගේ බැංකු ගිණුමට යොමු කරනවා. ඒ අනුව මාසයකට රුපියල් 31,250ක් මෙම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. එය මාස 03ක් සඳහා අපි ලබා දෙනවා.
ඒ වගේම බහුදින යාත්‍රා සාමාන්‍යයෙන් මාස 03කට එක් වරක් පමණයි දියඹට යන්නේ. ඒ නිසා මේ මාස 03 ඇතුළත බහුදින යාත්‍රාවක් සඳහා එක් වරකට රුපියල්150,000ක ඉන්ධන දීමනාවක් ලබා දෙනවා. පොදු සහනාධාරයට අමතරව ධීවර ජනතාව ඉලක්ක කර ගත් සහනාධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ඊළඟ ප්රශ්නය වන්නේ ඒ හා බැඳුණු පොහොර. විශේෂයෙන් යූරියා ප්රශ්නයේදී මතුව ඇති ගැටලුව වන්නේ දැනට පරණ මිලට ගෙන ආ පොහොරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. පැරණි මිලට ගෙන ආ පොහොර මෙට්‍රක් ටොන් 14,000ක් අපි සතුව තිබුණා. ඒ වගේම මම සමාගම්වලට ස්තූතිවන්ත වෙන්න අවශ්‍යයි. ආරම්භක සාකච්ඡාවේදී සමාගම් එකඟ වුණා තමන් සතුව තිබෙන යූරියාවලින් 65%ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පැරණි මිලට ලබා දීමට. ඒ වගේම නැවත සාකච්ඡාවක් සිදු කිරීමෙන් පසුව ඔවුන් සතුව තිබෙන සියලු පොහොර අපිට ලබා දීමට එකඟතාව පළ කළා. ඒ යූරියා ප්‍රමාණය අපිට වී ගොවිතැන සඳහා නම් මුර දෙකකට ප්‍රමාණවත්. හැබැයි තුන්වන මුරය සඳහා අධික මිලට ගත යුතු වෙනවා. ඊයේ නැවක් ආවා. ඒ නැවේ ව්‍යාපාරිකයන් හතර දෙනෙක් පොහොර ගෙනාවා. ඒ හතර දෙනාගේ මිල ගණන් තිබෙන්නේ හතර මට්ටමක. අඩුම එක මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600. එහි සිට ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් යටතේ තිබෙනවා. ඒ නිසා තුන්වන මුරය වන විට පොහොර මිල ඉහළ යාමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා තුන්වන මුරයේදීත් මේ ලබා දෙන රු10,200ටම පොහොර ලබා දෙන්න. අර සමාගම්වලින් ආණ්ඩුවට අරගෙන රුපියල් 10,200 ස්ථාවර මිලකට ලබා දීමට. සමාගම්වල පොහොර මිටිය රුපියල් 13,500 පමණ වෙයි. ඒවා ආණ්ඩුව අරගෙන රු. 10,200ට ලබා දෙනවා. එවිට පොහොර මිටියකට රුපියල් 3000ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ආසන්න වශයෙන් ගත් විට රුපියල් බිලියන 1.7ක් ඒ සඳහා වැය වෙනවා. එවිට මේ යල කන්නයේ වී ගොවිතැන සඳහා යූරියා ස්ථාවර කරනවා.
මේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ ඉතා හොඳ ක්‍රමවේදයකට. කුඹුරේ ඔවුන් වගා කරන බෝගය කුමක්ද, වීද, අතුරු බෝගද, ඒ අනුව තමයි පොහොර නිර්දේශය ලබා දෙන්නේ. අපි සැලකිල්ලට භාජනය කළා තවත් අමතර සහනාධාරයක් ලබා දීමට. එවිට එය අනෙකුත් සහනාධාර ලබා දීමේදී විධිමත් නිර්ණායකයක් වෙනවා. ඒ අනුව අපි තීරණය කළා රුපියල් 25,000ට තිබෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට. මෙම පොහොර සහනාධාරය තුළ අනෙක් වියදම ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් යල කන්නයේ කුඹුරුවල අතිරේක බෝග වගා කරන ප්‍රමාණය වැඩියි, ඒ සඳහා ලබා දෙන රුපියල් 15,000ක පොහොර සහනාධාරය 18,000 දක්වා වැඩි කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඊට අමතරව තේ වගාව සඳහා, මම හිතන්නේ දැනටමත් අපි කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර මිටියකට රුපියල් 4,000ක දීමනාවක් ලබා දෙනවා. අපි එකවරකට පමණක් පොහොර මිටියකට තව රුපියල් 5000ක දීමනාවක් අමතරව ලබා දෙනවා. මේ සියල්ල ගත් විට ඒ වෙනුවෙන් අපිට රුපියල් මිලියන 6500ක් වැය වෙනවා.
ඊළඟට අපි ප්‍රධාන වශයෙන් මුහුණ දී තිබෙන ප්රශ්නය තමයි අඩු අදායම්ලාභීන්ට සහනාධාරයක් ලබා දෙන්නේ කෙසේද කියන එක. අඩු අදායම්ලාභීන් පිළිබඳ දැනට අපිට තිබෙන එකම නිර්ණායකය වන්නේ අස්වැසුමයි. ඒ පිළිබඳ යම් විවේචන තිබෙනවා. හැබැයි මේ අවස්ථාවේ අපිට අඩු ආදායම්ලාභීන් හඳුනාගත හැකි නිර්ණායක පද්ධතිය වන්නේ අස්වැසුමයි. ඒ අනුව අස්වැසුම නිර්ණායක අනුව දැනට තිබෙන්නේ රුපියල්17,500, 10,000 සහ 5,000 වශයෙන්. අස්වැසුම ප්රතිලාභ මේ අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17,500 මුදල රුපියල් 25,000 දක්වාත්, රුපියල් 10,000 අස්වැසුම මුදල රුපියල් 15,000 දක්වාත්, රුපියල් 5000 අස්වැසුම මුදල රුපියල් 7500 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඒ සඳහා මේ මාසයේ රුපියල් මිලියන 8,500ක් අතිරේකව වැය කිරීමට සිදු වෙනවා.
ඊළගට ගත්තොත් විදුලි බිලේ ප්රශ්නය ආකාර තුනකින් පැන නගිනවා. ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට වැඩිපුර තාප බලාගාරවල විදුලිය නිෂ්පාදනය කිරිමට සිදු වීම පළමුවැන්නයි. දෙවන ප්රශ්නය වන්නේ විශේෂයෙන් ෆර්නස් ඔයිල්, නැප්තා සහ ඩීසල්වල මිල ඉහළ යාම. තුන්වනුව ඔබ හැමවිටම කියන ගල්අඟුරුවල ප්‍රමිතිය අඩු නිසා යම් විදුලි ඒකක ප්‍රමාණයක් අඩුවෙන් නිෂ්පාදන වීම නිසා ඒවා අනික් බලාගාරවලින් ගැනීමට යාමේදී සිදුවන අතිරේක වියදම. ඒ වගේම අපිට දැන් අතිරේක වයෙන් බොර තෙල් පිළිබඳව ගැටලුවක් පැන නගිනවා.
අපිට බොර තෙල් එන්න තිබුණේ ෆුජෙයිරාවලින්. සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් අපි පිරිසිදු කරපු තෙල් ගන්නවා. හැබැයි අපිට බොර තෙල් ගන්න තිබුණේ මැදපෙරදිග කලාපයෙන්. බොරතෙල් එන්න තිබුණු නැවක් ප්‍රමාදයට ලක් වුණා. තව නැවක් එන්න තිබුණා. එයත් ප්‍රමාදයට ලක් වී තිබෙනවා. අපිට අප්‍රේල් මාසයේ මැද භාගය වන විට බොර තෙල් නැවක් එනවා. ඒ නිසා බලාගාර යම් අනතුරකට මුහුණ දෙනවා. ඒ අනුව පිරිපහදුව අපිට දින කිහිපයක් වසා තැබීමට සිදු වේවි. මේ පිරිපහදුවෙන් තමයි අපිට අවශ්‍ය වන නැප්තා සහ ෆර්නස් ඔයිල් හැදෙන්නේ. ඒ නිසා අපි ඒ අනතුර කලින් දැකලා ෆර්නස් ඔයිල් වෙනම ආනයනය කිරීමට තීරණය කර තිබුණා. එම නැවත් බොහෝ දුරට අප්‍රේල් 13 සහ 15 යන කාලය ඇතුළත එනවා. හැබැයි එතකොට වෙන දේ තමයි බොරතෙල්වලින් පිරිපහදු කර ෆර්නස් ඔයිල් ගන්න මිලට වඩා ෆර්නස් ඔයිල් ආනයනය කරන විට දැරීමට සිදු වන පිරිවැය අධික වෙනවා. ඒ වගේම පිරිපහදුව දින කිහිපයක් වසා දැමීමට සිදු වුණොත් ඒ පිරිපහදුවෙන් අවශ්‍ය නැප්තා ප්‍රමාණය නිෂ්පාදනය වන්නේ නැත්නම් අපිට ඒවා ඩීසල්වලින් දුවන්න සිදු වෙනවා. එසේ වූ විට අපේ විදුලි බිලට අතිරේක බලපෑමක් ඇති වෙනවා.
බොරතෙල් අපි කෙලින්ම ගෙන්නේ මැදපෙරදිග කලාපයෙන්. ඒ වරායවලට පහර දෙන පටන් ගත්තා. ඒ නැව් මාර්ග අවහිර වෙන්න පටන් ගත්තා. එවිට බොරතෙල් ආනයනය කිරීම ඉතාමත් දුෂ්කර තත්ත්වයක්. එහෙත් දැනට එල්.සී විවෘත කළ එක ලැබේවි යැයි විශ්වාසයක් අපට තිබෙනවා. එවිට බොරතෙල් හිඟවීම නිසා නැප්තා සහ ෆර්නස් ඔයිල් අපට ඩීසල්වලින්ම නිෂ්පාදනය කරන්න සිදු වෙනවා. එවිට විදුලිය නිෂ්පාදනය කිරීමට යන පිරිවැය වැඩි වෙනවා. මේ පිරිවැයට ආකාර කිහිපයක බලපෑමක් තිබෙනවා. ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපට ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට යාම නිසා සිදු වන බලපෑම. දෙක ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලි බිලට ඇති වන බලපෑම. තුන ෆර්නස් ඔයිල් සහ නැප්තා වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න සිදු වීම නිසා ඇති වන බලපෑම. හතර අපි අපේක්ෂා කරන නිෂ්පාදනය ගල්අඟුරුවලින් සිදු නොවීම නිසා ඇති වන බලපෑම.
පෙරේදා බලාගාර සම්පූර්ණයෙන් දුවලා තියෙනවා. සාමාන්‍යයෙන් අපට බලාගාරයෙන් ඒකක 270ක් හැදෙන්න ඕන. බලාගාර තුනෙන් එකක් ඒකක 270ක්, අනෙක් එකෙන් 266ක් සහ අනිත් එක ඒකක 244ක් වගේ හැදුණා. එය උච්චාවචනය වෙනවා. මෙගාවොට් 900ක් තිබුණාට බලාගාරයේ මෙගාවොට් 810යි ලැබෙන්නේ. හැම බලාගාරයකටම මෙගාවොට් 30 ගානේ වැය වෙනවා අභ්‍යන්තර කාර්යක්ෂමතාව වෙනුවෙන්. සමහර අවස්ථාවල 270 හැදෙන්නේ නැහැ. ඇත්ත මේ ගල්අඟුරුවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒය කිසිසේත්ම ටෙන්ඩරයේ ප්‍රශ්නයක් නෙවෙයි. සපයන සමාගම අපට නිවැරදි පරිදි සපයන්නේ නැතිකම. නිවැරදි ගල් අඟුරු නොමැති කම. ඒවා පරීක්ෂා කර බලන්නේ නියමිත පර්යේෂණාගාරවලින්.පටවන්න පෙර පරියේෂණාගාරය වාර්තාව එවනවා ගල්අගුරු පාස් කියලා. ඊට පසු අපි 80%ක් ගෙවනවා. ඉතුරු 20% ගෙවන්න අපි නැවත ඉන්දියානු පර්යේෂණාගාරයකින් පරීක්ෂා කරනවා. කුමක් හෝ හේතුවකට මේ ලැබ් දෙකෙන්ම මේ සමත්වීම සිදු වෙනවා. නැව් 3ක් අසමත් වෙලා තිබෙනවා. හැබැයි අනිත් ඒවා පරීක්ෂණ වාර්තාවල සමත්වීමක් තිබෙනවා. එහෙත් අපේ පද්ධති කළමනාකරණය පැත්තෙන් අපට කියනවා අවශ්‍ය වන නිෂ්පාදනය අපිට ලැබෙන්නේ නෑ කියලා.
ඒ නිසා අපි සමහර ගල්අඟුරුවලට 20% ගෙවීම අත්හිටුවා තිබෙනවා. සමහර වාර්තාවලට අපි පෙනල්ටි තීරණය කර තිබෙනවා. ඒ වගේම සමහර ඒවට අපි 80% ගෙවලත් නෑ. ඒ නිසා ප්‍රමිතිය හේතු කර ගෙන ගල්අගුරුවලින් නිෂ්පාදනය කරන විදුලිය අපට ඩීසල්වලින් නිෂ්පාදනය කරන්න සිදු වෙන අතිරේක වියදම තියෙනවා නම් එය එම සමාගමෙන් අය කර ගන්නවා. එය කිසිසේත්ම මේ රටේ පුරවැසියන්ගේ විදුලි බිලට එකතු කරන්නේ නැහැ.
මේක අපේ ආණ්ඩුව. ඒවා කොම්පැනිකාරයන්ගේ ආණ්ඩුවලින් කර ගන්න. පළමුවෙනි පාර පෙනල්ටිය බැලුවොත් ඔවුන් අපිට නැව දුන්නේ ඩොලර් 98ට. පෙනල්ටියට අනුව ටොන් එකක් ඩොලර් 64ට අඩු වෙනවා. ඒ තරම් විශාල පෙනල්ටියක්. අපි දඩ ගහනවා. ගෙවන්න අකමැති වුණොත් නඩු යනවා. හැබැයි අතිරේක සාධක ඉන්ධන මිල ඉහළ යාම, ඔයිල් වැඩිපුර ඩීසල්වලින් නිෂ්පාදනය කරන්න සිදු වීම.
ජල මට්ටම පහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙනවා. ඒ අනුව අපි කල්පනා කර තිබෙනවා ඉලක්ක සහගත ප්‍රජාවට යම් සහනයක් ලබා දිය යුතුයි කියලා. මේ අප්‍රියෙල් මාසයේ 01වෙනි දා විදුලි බිල වැඩි වීම කිසිසේත්ම මේ තත්ත්වය මත සිදු වූ වැඩි වීමක් නොවෙයි. පෙබරවාරි 01වෙනි දා කරන ලද උපකල්පනය මත තමයි අප්‍රියෙල් 01වෙනි දා බිලට මේ බලපෑම ඇති කළේ. අප්‍රියෙල් මාසේ 01 ගත්තොත් ඒකක 30ට වඩා අඩු අයට මාසයකට රුපියල් 15ක වැඩි වීමක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දවසකට ශත 50යි. ඊළඟ එකට රුපියලයි. තව එකකට දවසකට වැඩි වී තිබෙන්නේ එකයි පනහයි. ඒ නිසා මේ විදුලි බිල වැඩි වීම සිදු වූයේ අර්බුදය සමඟ නෙවෙයි.
හැබැයි මේ අර්බුදයත් එක්ක අපි දකිනවා තැන් කිහිපයකින් බලපෑමක් එනවා. විදුලි බල මණ්ඩලයට ඒක මුළුමනින්ම දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම අපේ භාණ්ඩාගාරයට දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම ජනතාවට දරා ගන්න කියන්න පුළුවන්. මේ මාවත් තුනෙන් අපි තීරණය කර තිබෙනවා ඉන් යම් පංගුවක් ආණ්ඩුව දරා ගන්නවා. යම් පංගුවක් ජනතාව දරා ගන්නවා. තවත් පංගුවක් සමාගම දරා ගත යුතුයි කියලා.
ගල්අගුරුවල ප්‍රමිතිය බාල නිසා හැදෙන විදුලියෙන් කොටස සමාගම දරා ගත යුතුයි. එසේ නොමැතිව එය කිසිසේත්ම ජනතාව මත පටවන්නේ නැහැ. එය ජාතික පද්ධති කළමනාකරණ සමාගම දරා ගත යුතුයි. ඒ අනුව අපි තීරණය කර තිබෙනවා ඒකක 90ට වඩා අඩුවෙන් එන අයට ඊළඟ විදුලි බිලේ ඇති වන වෙනස්කමකදී සහනාධාරයක් ලබා දීමට. ඒ සහනාධාරය සදහා අපි මසකට රුපියල් කෝටි 500ක් වෙන් කරනවා. මාස තුනකට අපි රුපියල් කෝටි 1500ක් වෙන් කර තිබෙනවා. ආසන්න වශයෙන් දැනට ගණනයේ තිබෙන්නේ බිලියන 32ක වගේ මාස තුනක පාඩුවක් සිදු වේවි කියලා. ඉන් බිලියන 15ක් ආණ්ඩුව දරා ගන්නවා. ආසන්න වශයෙන් බිලියන 7ක් අර ගල් අඟුරු ප්රශ්නයේ මතු විය හැකියි. එය අය කර ගන්නවා. මේකයි ක්‍රමය. මීට වඩා වෙනස් ක්‍රමයක් තිබෙනවා නම් කියන්න.
මේ අර්බුදය මේ ආකාරයටම මතු වුණා 2022 දී. පන්දහසේ කොළ ගහලා බෙදුවා. ඉන්පසු උද්ධමනය 70%ට ගියා. මුදල් විශාල ප්‍රමාණයක් මාර්කට් එකට සංසරණයට එවන්න පටන් ගත්තා. බෙදන්න පුළුවන් වුණත් අනිත් පැත්ත බලන්න. පොලී අනුපාතය 33%ට ගියා. ඕ.ඩී එක 38%ට ගියා. බැඳුම්කර පොලිය 30% ඉක්මවා ගියා. ඒවා ඉතා අක්‍රමවත්. අපි උද්ධමනය, බැංකු පොලී අනුපාතය, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව, භාණ්ඩාගාරයට දරා ගත හැකි ප්‍රමාණය ආදි සියල්ල බලමින් තමයි මේ විධිමත් ක්‍රමය හදා තිබෙන්නේ.
ඔබට මතක ඇති දිට්වා විනාශයට අතිරේක වශයෙන් අපි කෝටි 50,000ක් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවුවා. ඒක තමයි ආණ්ඩු කියන්නේ. ඒ වගේම මේ ව්‍යසනය හමුවේ මා ඉදිරිපත් කළ සහන පැකේජයට අදාළ යෝජනා තුළ රුපියල් බිලියන 100ක් තිබෙනවා.
මා හිතන්නේ මේ වෙලාවේ අපි ජනතාවට සහනයක් දිය යුතුයි. ජනතාව බලා ගත යුතුයි. ඒ වෙනුවෙන් අපිට දරා ගත හැකි පරිදි බිලියන 100ක වැය ශීර්ෂයක් මාස තුනකට අපි ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙනවා නම් නැවත අපි ඔබ ඉදිරියට පැමිණ යෝජනා ඉදිරිපත් කරන්නම්. එදාට එය සම්මත කර දෙන්න. බැංකු පොලී අනුපාත 10%ට වඩා යටින් පවත්වාගෙන යන්නත්, උද්දමනය 5% වඩා පහළින් පවත්වාගෙන යන්නත් අපි උත්සාහ කරනවා. ඩොලරයේ වටිනාකම ඉහළ ගියොත් ඒක අපිට නැවත බලපෑමක් ඇති කරනවා. මේ තිබෙන තත්ත්වය අනුරූපවයි අපි සහන ලබා දී තිබෙන්නේ. මැයි මාසයේ අග දක්වා අඛණ්ඩ බලශක්ති සැපයුම සහ අඛණ්ඩ ඉන්ධන සැපයුම අපි සහතික කරනවා. ඒ සදහා ඉන්ධන සහනාධාරය ලබා දෙනවා.
අගමැති මෝදි සමග කළ සාකච්ඡාවේදී ඉන්ධන ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. අපි ඒ පිළිබඳව මෝදි අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චීන රජයත් අපිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. චීන තානාපතිවරයා චිනයට ගිහින් රජයත් සමග සාකච්ඡා කර අපිට ඒ ගැන දැනුම් දී තිබෙනවා. රුසියානු රජයත් අපිට ඉන්ධන ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා. පසුගිය දා රුසියානු බලශක්ති ඇමතිවරයා අපේ රටට ඇවිත් ඒ ගැන සාකච්ඡා කළා. ඒ වගේම රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාත් ලංකාවට ඇවිත් අප සමග සාකච්ඡා කළා. ඔවුන් අපිට ඉන්ධන ලබා දීමට සූදානම්. ට්‍රම්ප් ජනාධිපතිවරයා අපිට අවසරය ලබා දී තිබෙනවා අප්‍රේල් 11 දක්වා රුසියාව සමග ගනුදෙනු කිරිමට. ඒක තව දීර්ඝ වෙයිද? නැද්ද? කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපි මේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරමින් යනවා.
ඒ වගේම, මේ මිලදී ගැනීම් සිදු කරන්න ජාත්‍යන්තර බැංකුවල එකඟත්වය තිබෙන්නත් ඕන. ඒක අපිට විතරක් නෙවෙයි ලෝකයේ කුමන රටටත් බලපානවා. අපි රජයක් ලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුම වෙනුවෙන් ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් ඉදිරිපත් කරන අදහස් සහ යෝජනාද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම සිදු කරනවා.
රුපියල් යම් ප්‍රමාණයකට අවප්‍රමාණය වී තිබෙනවා. විදෙස් සංක්‍රාමවල අඩුවක් නැහැ. සෑම මාර්තු මාසයකටම වඩා මේ වසරේ මාර්තු මාසයේදී ලැබී තිබෙන විදෙස් සංක්‍රාම ප්‍රමාණය වැඩියි. සංචාරක කර්මාන්තයේ සීසන් එක අවසන් වෙමින් තිබුණේ. දැන් සංචාරකයින් එන්නේ යුදමය ගැටුම් කලාපයෙන් නෙවෙයි අනෙක් පැත්තෙන්. අපි මාර්තු මාසයේදි සංචාරකයන් ලක්ෂ තුනක් බලාපොරොත්තු වුණත් ඇවිත් තිබෙන්නේ 150,000ක විතර ප්‍රමාණයක්. ඒ නිසා එහි අඩුවක් තිබෙනවා. එයින් ලැබෙන විදෙස් සංක්‍රාම අඩුවක් තිබෙනවා.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉතාමත් හොඳ සාකච්ඡාවක් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡාවක් යොදා ගෙන තිබුණා. කථානායකවරයා දිග ලැයිස්තුවක් යවලා තිබුණා පක්ෂ නායකයින්ගේ. එහෙත් ඇවිත් තිබුණේ හතරක් වගේ කියලා තමයි දැන ගන්න ලැබුණේ.
ඕනෑම පක්ෂයකට ඒ සාකච්ඡා වර්ජනය කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ අයිතිය. එහෙත් අපි ඉතාමත් ඵලදායි සාකච්ඡාවක නිරතව සිටිනවා. අපි උත්සාහ කරනවා බ්‍රහස්පතින්දා වන විට මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මෙහෙදීම අත්සන් කරන්න.වෙනදාට මෙහෙදී සාකච්ඡා කරලා, ගිවිසුම අත්සන් කරන්න අපි එහේ යන්න ඕන. ඒත් මේ වතාවේ මෙහෙදීම අත්සන් කරන්න සූදානමක් තිබෙනවා. එහිදී පහ සහ හය වාරික දෙකම එකට ලැබෙනවා. එහෙම වුණොත් මැයි අවසන් වීමට පෙර ඩොලර් මිලියන 700ක් ලැබෙනවා.
ඒ වගේම, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කණ්ඩායමක් පසුගිය දිනවල ලංකාවට ආවා. ඔවුන් මේ වසර තුළ ඩොලර් බිලියන 1.2ක ප්‍රදායක් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ වගේම ලෝක බැංකුවෙනුත් යම් ප්‍රදානයන් කිරීම ගැන එකඟතාව පළ වී තිබෙනවා. ඒ අනුව විදෙස් සංචිතවල අඩුවක් වීමේ අවදානම අඩුයි. අපි වෙළෙඳපොළෙන් මිලදී ගැනීම අඩු කර තිබෙනවා.එහෙත් අපිට ණය වාරික ගෙවන්න සිදුව තිබෙනවා. ඒ නිසා මැයි අවසන් වන විට විදෙස් සංචිතවල අඩුවක් විය හැකියි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ප්‍රදානයන් සමග මේක වෙනස් කර ගන්න හැකියි.
රුපියලේ අගය යම් අඩුවක් සිදු වී තිබෙනවා. වෙනත් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව අපේ රුපියල් අවප්‍රමාණය වී තිබෙන්නේ දැනට ඉතා සුළු වශයෙන්. උත්සව සමය නිසා අපේ ආනයන වියදම් ටිකක් වැඩියි. මේක දහවෙනිදායින් පසු අඩු වෙනවා. නැවත ආනයන වියදම් වැඩි වෙන්නේ මැයි මැද විතර. මේ අතර අපිට මෙහි යම් තුලනයක් කර ගන්න හැකි වෙයි කියලා හිතනවා. එහෙත් ඉන්ධන මිල ඉහළ යාම නිසා අපිට ඩොලර් බිලියන 1.5ක පමණ අතිරේක බලපෑමක් ඇති වී තිබෙනවා. ඒ නිසා තමයි අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන පරිහරණය අඩු කර ගනිමු කියලා. ඒ ප්‍රමාණයට ඉන්ධන ආනයනය අඩු කරන්න පුළුවන්. මේ විදිහටම ගියොත් ඒක ඩොලරයේ අගයට ලොකු බලපෑමක් කරාවි.
ගෑස් ප්‍රශ්නයක් තිබෙනවා. අවදානම වැඩි වීම නිසා ගෑස්වල ප්‍රීමියම් අගය වැඩි වෙලා. එහෙත් අපි අඛණ්ඩව ගෑස් සපයනවා. පෞද්ගලික සමාගමේ ප්රශ්නය මතු වේවි. ඒ වගේම ඉන්ධන බෙදා හරින සමාගම් තව තුනක් තිබෙනවා. ඔබත් යෝජනා කර තිබුණා ඔවුන්ට මිල තීරණය විවෘත කරන්න කියලා. අපි සුපර් ඩීසල් සහ සුපර් පෙට්රල්වලට මිල විවෘත කළා. දැන් ඔවුන් මිල ඉහළ දමා තිබෙනවා. ඒක තමා ඇත්ත මිල. ආණ්ඩුව සතුව තිබෙන්නේ තෙල් බෙදා හැරිමේ වෙළෙදපොළෙන් 57%යි. ඒ තුළ තමයි අපිට මෙය කළමනාකරණය කර ගැනීමට සිදු වන්නේ. මේ සමාගම් සහ අපි අතර පරතරය වැඩි වුණොත් ඇති විය හැකි තත්වයන් ගැනත් අපි කල්පනා කරමින් ඉන්නවා. දැනට අපි ඉන්ධන, පොහොර සහ ගෑස්වලට මාස තුනක සැලසුමක් සකස් කර තිබෙනවා. එතනින් එහාට තත්ත්වය සලකා බලා නැවත සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් යෝජනා, චෝදනා සියල්ල ඉදිරිපත් කරන්න. අපි ඒවා සලකා බලන්න සූදානම්.