එකට එකතු වී නිදහස ලැබුවා සේ ‘එකට එකතු වී රටත් ගොඩ ගනිමු’ යැයි නිදහස් දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ගෙවී ගිය වසර 78ක කාලය තුළ අගතිගාමී නොවී රට පිළිබඳ විමසා බැලුවහොත් අප ලැබූ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනා ගැනීමට හැකි ය. ඒවා පිළිබඳ විචාරශීලීව විමසා බලමින් වර්තමානයේ කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද ඒ මහතා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.
ප්රජාතන්ත්රවාදය සුරැකීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සාරධර්ම, සංස්කෘතික උරුමයන් ආදී ක්ෂේත්‍ර තුළ වැඩි දියුණුවට මෙම 78 වසර තුළ බොහෝ සාධනීය පියවර රැසක් ගෙන ඇති බව නොරහසකි. රටේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ජනතාවගේ ජීවන තත්ත්වය අභියෝගයට ලක් වූ බව ද අප වටහාගත යුතු යැයිද එහි දැක්වේ. අතාර්කික දේශපාලන තීන්දු, බලය සඳහාම වූ වැඩපිළිවෙළ ජනගත කරමින් සිදු කරනු ලැබූ දේශපාලනමය බල හුවමාරු තුළ රටේ ඉදිරි ගමනට සිදුව ඇති අභියෝගකාරී තත්ත්වය මෙම නිදහස් සැමරුම තුළ පාට කණ්ණාඩිවලින් තොරව සොයා බැලිය යුතුය.
ඒකපුද්ගල ආදායම, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, කායික හා මානසික සෞඛ්‍ය මට්ටම, සමාජ සහයෝගීතාව, ජීවිතය ගැන තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලීත්වය හා දූෂණයෙන් තොරවීම නිර්ණායක ලෙස සලකන සතුටු දර්ශකය මෙන්ම ලෝකයේ මානව සංවර්ධන දර්ශක මනිනු ලබන ප්‍රධාන මිනුම් දඬු වන සෞඛ්‍ය සම්පන්න ජීවිතය, නිසි අධ්‍යාපනය, යහපත් ජීවන තත්ත්වය වැනි අංශ පිළිබඳ අප අද දකින්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ යැයිද හෙතෙම සඳහන් කර ඇත. අප නිදහස ලබා ගැනීමේදී අපේක්ෂා කළ නිදහස් සමාජය, නිදහස් ආර්ථිකය, නිදහස් ජීවිතය පමණක් නොව නිදහසින් උරුම වූ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි කරුණු ද අද අප හමුවේ ඇත්තේ නිදහස තහවුරු කළ යුතු අභියෝග ලෙස යි.
මේවා පටු දේශපාලනය තුළ රාමුගත කළ යුතු හෝ එක් පාර්ශ්වයකට බලපාන කරුණු ලෙස සලකා බැහැර කළ යුතු නොවේ. එබැවින් 78 වැනි නිදහස් සැමරුමේදී අප බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගත යුත්තේ ලැබූ නිදහස රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ ජනතාවගේ පරමාධිපත්‍යය අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් කොට පෝෂණය කිරීමේ වගකීම අප සතු වන බැවිනි.
ඒ සඳහා ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ සියලු බලවේග එකට එකතුව ක්‍රියා කළ යුතු යැයි අපි තරයේ විශ්වාස කරමු. ඒ සඳහා මෙම නිදහස් සැමරුම් දින සියලු දේශපාලන සිවිල් සංවිධාන හා සමස්ත ජනතාව ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු විය යුතුය. අප නිදහස ලබා ගත්තේ ද ජාති ආගම් හෝ වෙනත් සාධක මත වෙන්ව නොව එකට එකතු වීම තුළ ය. මේ මොහොතේ ද රටට අවශ්‍යව ඇත්තේද එවැනි එකමුතුවක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.