Monday, January 12, 2026
Follow Us
ඉන්දීය ආධාර යටතේ දිට්වා ආපදාවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් හානියට පත්වූ අතර, එම ස්ථාන ප්රතිසංස්කරණය කිරීම ඊයේ (11) මහව හන්දිය ප්රධාන දුම්රිය ස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණ.
ඒ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
 
2019 සහ 2024 වර්ෂවලදී අදියර දෙකක් යටතේ මෙම දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර, කිලෝමීටර් 370 ක දිගකින් යුතු මෙම දුම්රිය මාර්ගයේ පවතින අඩුපාඩු සකසමින්, ගමන් කාලය අඩු කරමින් වේග සීමාව පැයට කිලෝමීටර් 100 දක්වා වැඩි කිරීම ඉලක්ක කොට ගෙන නවීන සංඥා පද්ධති, පාලම් සහ වන අලි මාරු වීම වෙනුවෙන් උමං මාර්ග ද ස්ථාපිත කර වැඩි දියුණු කිරීම මෙම ව්යෘපෘති යටතේ සැලසුම් කර තිබිණ.
 
ඉන්දියානු රජයෙන් ලැබුනු ඩොලර් මිලියන 5 ක මූල්ය ප්රදානයත් අමතරව ඉන්දියානු ප්රවාහන සේවා විශේෂඥ දැනුමත් තාක්ෂණය මෙන්ම නවීන යන්ත්රෝපකරණත් සමග උතුරු දුම්රිය මාර්ගයේත්, තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේත් අලුත්වැඩියා කටයුතු ඊයේ (11) දිනයේ ආරම්භ කෙරුණි.
 
මෙම ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ජනවාරි 19 වන දින සිට මාර්තු 31 දින දක්වා මහව - අනුරාධපුර දුම්රිය ධාවනය සිදු නොවන අතර, අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සාමාන්ය පරිදි ධාවනය කෙරේ. අප්රේල් මාසයේ සිට සමස්ත උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇත.