Sunday, June 22, 2025
Follow Us
කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100ක් වෙන් කෙරේ
  • විමධ්‍යගත අරමුදලින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක් වටිනා ව්‍යාපෘති 84 ක් ද දිස්ත්‍රික්කය සඳහා යෝජනා වේ.

කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් කෝටි 100 ක් වැය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ඉන් කෝටි 20 ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට වෙන් කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" තේමාව මුලික කරගත් ජාතික ජනබලවේගය රජයේ "පුනරුද යුගයක ඇරඹුම" ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පුනරුදයට මඟ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පළමු වැඩ ඇරඹුම සනිටුහන් කරමින් රුපියල් මිලියන 21 ක වියදමකින් කුඩා වස්කඩුව සමගිපුර (නයිදුව) ප්‍රධාන මාර්ගය කාපට් ඇතිරීම වැඩ ආරම්භ කරන  උත්සව අවස්ථාවට  ඊයේ (21)  එක්වෙමිණි.

මෙවර විමධ්‍යගත අරමුදලින් ඉටු කිරීම සඳහා රුපියල් ලක්ෂ 1260 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 84 ක් ද දිස්ත්‍රික්කය සඳහා යෝජනා වී ඇති බවත් එම ව්‍යාපෘති ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට  කටයුතු කරන බවත්  මෙරට බදු ගෙවන ජනතාව විසින් භාණ්ඩාගාරයට යවන සෑම බදු මුදලක් ම නැවත පෙරලා ජනතා සේවයට යොමු කිරීම තම රජයේ ඒකායන බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

භාණ්ඩාගාරයට යවන අන්තිම රුපියල දක්වා පිළිවෙලකට, සැලසුමකට, කාර්යක්ෂමව, දුෂණයෙන් තොරව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වියදම් කරන බව පැවසු අමාතඨවරයා , ඉදිරි කාලයේ දී දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව යන ත්‍රිත්වයේ ම  ඒකාබද්ධතාවයෙන් මෙරට සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවත් ජනතාව විසින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන ජනතා සංවර්ධන ඉල්ලීම් ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර තුන තුළ දී  ඉටු කිරීමට බලාපොරොත්තු වන බව  ද පැවසී ය.