ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව අද (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වන දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇත.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වේ.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී.
රජයේ ඩිජිටල්කරණ සැලසුමෙහි අංගයක් ලෙස ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයෙන් සැපයීමේ පරිගණක වැඩසටහන එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන මහත්වරු සහ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු උතුරු පළාතේ රාජ්‍ය නිලධාරිහුද, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරින් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.