Monday, July 14, 2025
Follow Us
සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුරු-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි කිරීමට සූදානමක් තිබේ නම්, ඔවුන් උතුරු සහ නැගෙනහිර ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සෝලිස් හෝට​ලයේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

‘‘මැතිවරණයෙන් පසුව ජනතාවගේ අයිතීන් ආණ්ඩුව විසින් ගිලගෙන තිබෙනවා. දැන් ආණ්ඩුව කුමක් කළත් ජනතාවට මුකුත් කරන්න බැහැ. හැබැයි ජනතාවගේ අතින් ආණ්ඩුව ගිලිහුණාට පසුව ඒ ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් විපක්ෂයකට. ඒ නිසා අපි හිතනවා ප්‍රබලතම විපක්ෂයක් පිහිටුවීමට. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ අපේ භූමිකාව තමයි ප්‍රබලතම විපක්ෂයක් නිර්මාණය කිරීම.

එහිදී අපි මූලික කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. එහෙට මෙහෙට පනින් නැති මන්ත්‍රීවරු නිර්මාණය කිරීම සහ විකිණෙන්නේ නැති මන්ත්‍රීවරු පත්කර ගැනීම යන කාරණා දෙක කෙරෙහි අපි දැඩි අවධානයක් යොමු කරනවා. ඒ නිසා මේ පාලනයේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. ප්‍රබලතම විපක්ෂයේ කාර්යභාරය ජනතාව විසින් අපට භාර දෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්යය සිදු කිරීමට කිසිදු සුදුසුකමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමගියවත් ආරක්ෂා කර ගන්න බැරුව කොහොමද විපක්ෂයේ කාර්යය කරන්නේ? ඒ නිසා මං හිතනවා සංවිධානයක් හැටියට ගත්තත්, දේශපාලන පක්ෂයක් හැටියට ගත්තත්, වගකීම් ලෙස ගත්තත් එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව සැලකිය යුතු ප්‍රමාණයකට දුර්වල වුණු අවස්ථාවක් මේක.

වර්තමාන රජය එම්.සී.සී. ගිවිසුම පිළිබඳව වඩාත් වැඩියෙන් කෑ මොර දෙමින්, අඬහැර පාමින් විවිධ කරුණු ප්‍රකාශ කළා. නමුත් එම පාලනය බිහිවුණ පසුදාම එම ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් හෝ ප්‍රකාශයක් සිදුකළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයෙන් පසු මෙම ගිවිසුමට අත්සන් කිරීමේ සූදානමක් තමයි දැන් තියෙන්නේ.

හම්බන්තොට වරාය විකිණීම මහා ආර්ථික අපරාධයක් බවට මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කරපු රාජපක්ෂවරු අද කියනවා හම්බන්තොට වරාය චීනයට පැවරීම නිවැරදියි කියලා. ඒ නිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන විශාල පරස්පරතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මැතිවරණ වේදිකාවල කියපු දෙයක් තමයි ජීවන වියදම ඉහළ ගොස් තියෙනවා කියලා. ඒත් අද මොකක්ද වෙලා තියෙන්නේ.’’

(Lanka Leads)