Sunday, November 22, 2026
Follow Us
83 වන මූලික පුහුණු පාඨමාලාව නිම කළ නවක නිලධාරීන් 221 දෙනෙකු විශේෂ කාර්ය බලකායට
හරිත හිස් වැසුමේ අභිමානය දරමින්, 83 වන මූලික පුහුණු පාඨමාලාව නිම කළ නවක නිලධාරීන් 221 දෙනෙකු විශේෂ කාර්ය බලකායට එක් වී තිබේ.

 

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානවත් 83 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා නිම කළ ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 04 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 217 දෙනෙකු විසිර යාමේ උත්සවයයි ඉතා උත්කර්ෂවත් හා ගාම්භීර අන්දමින් පැවැත්වුණේ.
 
විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු පාසල් පරීශ්‍රයේදී මෙය සිදු කෙරිණි.
 
දැඩි විනයක්, ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් සහ උසස් සටන් පුහුණුවක් සම්පූර්ණ කරමින් මෙම නවක නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ අනන්‍යතාවය සංකේතවත් කරන කොළ පැහැති හිස් වැසුම් පැළඳ, අභිමානවත් විශේෂ කාර්ය බලකා පවුලට නිල වශයෙන් එක්වීම මෙහිදී සිදු විය.
 
මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහභාගී වූ අතර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරීන් රැසක් ද මෙම උත්සවයට එක්විය.
 
 පුහුණුව නිම කළ සෙබළුන් සිය අසමසම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කළේය.