මෙරට අධිකරණ වෛද්‍ය සේවාවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම මෙන්ම, එම සේවාව ජාත්‍යන්තර වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම සඳහා පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් අතර පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී මෙරට අධිකරණ වෛද්‍ය සේවාවේ වත්මන් තත්ත්වය, මානව හා භෞතික සම්පත් අවශ්‍යතා, තාක්ෂණික සංවර්ධනය සහ සේවා සැපයීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය කටයුතුවලට අදාළ ලිපි ලේඛන, වාර්තා සහ තොරතුරු පවත්වාගෙන යාමේ සමස්ත ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය විය. එමඟින් තොරතුරු කළමනාකරණය විධිමත් කිරීම, වාර්තා ලබාගැනීම සහ හුවමාරු කිරීම කාර්යක්ෂම කිරීම මෙන්ම සමස්ත අධිකරණ වෛද්‍ය සේවාව නව තාක්ෂණික ප්රවේශයකට යොමු කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම දිවයින පුරා පිහිටි අධිකරණ වෛද්‍ය ඒකකවල පවතින අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය, අවශ්‍ය වෛද්‍ය උපකරණ හා භෞතික පහසුකම් සැපයීම සහ අදාළ රාජකාරි හා සේවා ක්‍රියාවලීන්ට බලපාන චක්‍රලේඛ යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එක් එක් අධිකරණ වෛද්‍ය ඒකකයේ සේවා අවශ්‍යතා නිසි පරිදි තක්සේරු කර ඊට ගැළපෙන පරිදි අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සහ අනෙකුත් මානව සම්පත් යෙදවීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
විදේශ රටවලදී මියගොස් මෙරටට ගෙන එනු ලබන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් සිදුකරන මරණ පරීක්ෂණවලදී මතුවන ගැටලු සහ එවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි වඩාත් පැහැදිලි හා විධිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ අධිකරණ වෛද්‍ය සේවාව ඉහළ වෘත්තීය ප්‍රමිතීන්ගෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා ඊට අදාළ සියලු අංශවල සංවර්ධනය පිළිබඳව සමස්ත දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමයි.
ඒ අනුව, අධිකරණ වෛද්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු, මානව හා භෞතික සම්පත් අවශ්‍යතා, තාක්ෂණික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ පරිපාලනමය යාවත්කාලීන කිරීම් ඇතුළත් විධිමත් හා ප්‍රායෝගික සංවර්ධන යෝජනා මාලාවක් සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයට උපදෙස් ලබා දුන්නේය.
එම යෝජනා මත පදනම්ව ප්‍රමුඛතා හඳුනාගෙන අදියරෙන් අදියර අවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, මූලික රෝහල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව ද මෙහිදී සඳහන් විය. එම ව්‍යාපෘතිය යටතේ අධිකරණ වෛද්‍ය ඒකකවලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට ද එකඟතාව පළ විය.
අධිකරණ වෛද්‍ය සේවාව සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් සීමා නොවන අතර, මරණ හා අපරාධ සම්බන්ධ විමර්ශනවලදී විද්‍යාත්මක සාක්ෂි සහ විශේෂඥ මත ඉදිරිපත් කිරීම තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ද සෘජු දායකත්වයක් සපයන වැදගත් ජාතික සේවාවකි. එබැවින් එහි වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම, අවශ්‍ය මානව හා තාක්ෂණික සම්පත් ශක්තිමත් කිරීම සහ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිපාලන හා සේවා ක්‍රමවේද ස්ථාපිත කිරීම රටේ සෞඛ්‍ය හා අධිකරණ පද්ධති දෙකෙහිම කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය 2000 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, මේ වන විට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සියයකට ආසන්න පිරිසක් එහි සාමාජිකත්වය දරති. එමෙන්ම දිවයින පුරා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල 55කට ආසන්න සංඛ්‍යාවක් මඟින් මෙරට අධිකරණ වෛද්‍ය සේවාව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය සහ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්යක්ෂවරුන් වන වෛද්‍ය ඉන්දික ජාගොඩ, විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, වෛද්‍ය සුරංග දොලමුල්ල සහ වෛද්‍ය අයන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
එමෙන්ම ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අයන්ති ගුණසේකර, ලේකම් විශේෂඥ වෛද්‍ය තරංග ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු එම විද්‍යායතනය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.