අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමඟින් 1992 අංක 46 දරන පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීම සහ අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සංශෝධනයට ලක් කර ඇත.
මෙම සංශෝධන මඟින් පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින්, “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් යන තනතුරු නාමයන් ඇතුළත් කිරීමටත් යෝජනා කර ඇත.
එසේම, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන්නෙහි අර්ථ දැක්වීම සංශෝධනය කර ඇති අතර, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් ඇති බවට හඳුනාගත් භෝග ඊට ඇතුළත් වේ. කෙසේ වෙතත් වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග ඇතුළු නිශ්චිතව සඳහන් කර ඇති භෝග මෙන්ම වැවිලි භෝග ද ඊට ඇතුළත් නොවේ.
ඒ අනුව අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.