ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම ආරම්භවීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ආණ්ඩුව ඉල්ලා අස්වීමේ සූදානමක
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. වත්මන් ආණ්ඩුවේ අනාගතය පිළිබඳ අගමැතිවරයා සහ කතානායකවරයා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මේ අතර ජනමතයට ගරු කරමින් ඉල්ලා අස්වීමට අගමැතිවරයා අදහස් කරගෙන සිටින බව ද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
රනිල් වෙනුවට කරූ තාවකාලික නායකත්වයට
එසේම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරගෙන සිටින අතර වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත්තේ තමාගෙන් පසු තාවකාලිකව හෝ පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙසයි. අන්තර්වාර නායකයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂයේ අනාගත නායකත්වය ගොඩනගා ඔවුන් අතට පක්ෂය භාරදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා අපක්ෂපාතී, පරිණත නායකයෙකු වන කරු ජයසූරිය මහතාට වඩා සුදුසු පුද්ගලයෙකු එජාපය තුළ නොමැති බවයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වන්නේ.
ඒ අනුව එජාපය බේරා ගැනීමේ මෙහෙයුම සහ සුදුසු නායකයෙකු අතට එජාපය භාරදීම කරු ජයසූරිය මහතාට පැවරෙනු ඇත.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ඒම සඳහා උරදුන් බොහෝ එජාප දෙවැනි පෙළ නායකයන් පක්ෂයේ තනතුරුවලින් මෙන්ම අමාත්‍ය තනතුරුවලින් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා සහ අජිත් පී. පෙරේරා මහතා මේ වනවිටත් තනතුරුවලින් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ. මීට අමරතව මංගල සමරවීර මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකු තනතුරු අත්හැරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
දිනෙන් දින ගරා වැටෙමින් පැමිණි එජාපය 2015 දී නැවත ජයග්‍රහී මාවතට අවතීර්ණ වූ නමුත් වසර පහක් ඇවෑමෙන් නැවතත් පරණ පුරුදු පාරට වැටී තිබේ.
(LNW)