Wednesday, July 09, 2025
Follow Us
ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා

නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බුල්ලා මහතාත් ගොඩවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එදා හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසයක් සිදුකළ අතුරලියේ රතන හිමිද හිස්බුල්ලා සමග එකට වේදිකාවේ සිටින බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා විමසා සිටින්නේ අද වනවිට ෂාරියා විශ්වවිද්‍යාලය පිරිවෙනක් බවට පත්වී හෝ තිබෙන්නේද යනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙ සිටින පුද්ගලයන් තමන්ට ඕනෑ වූ විට ජාතිවාදය පතුරුවන බවත්, ඉන්පසු නැවතත් එකිනෙකාට චෝදනා කරගත් පිරිසම එකට වේදිකාවේ හිඳගෙන සිටින බවත් ජවිපෙ ලේකම්වරයා පෙන්වා දෙයි. මෙම පුද්ගලයන් දේශපාලනය වෙනුවෙන් දෙබිඩි චරිත රඟපාමින් සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව රාජපක්ෂලා සහ ඔවුන්ගේ පාක්ෂිකයන් රටපුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙනගිය බවත් එම මුස්ලිම් විරෝධය හරහා සිංහල බහුතරය දිනා ගැනීමට කටයුතු කළ බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා. එම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් සුළුතරයකගේ ක්‍රියාවක් මිස එය බහුතර මුස්ලිම් ජනතාව වගකිව යුතු සිදුවීමක් නොවන බවත් ඔහු පවසනවා.

ඊයේ (08) නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ජවිපෙ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

(LNW)