Wednesday, January 28, 2026
Follow Us
ශ්‍රී ලංකවේ ළමා ශ්‍රමය පිළිබඳ අවදානයමක් තත්ත්වයක් නැහැ - කම්කරු හා විදේශ රැකියා ඇමැති

අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කළ යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ළමා ශ්‍රමයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම වෙනුවෙන් නෙළුව මණ්ඩලපුර ප්‍රාථමික විද්‍යාලයේදී පැවති උත්සවයකට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් තිබෙනවා කියලා පුවත්පතක් වාර්තා කරලා තිබුණා. මේක ගැන සොයා බැලුවම ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ලෝකයේම එවැනි ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් දත්ත මත පදනම් නොවී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියලා කියන්න බෑ. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවසන් වරට සමීක්ෂණයක් කරලා තියෙන්නේ 2016 දී. ඒ දත්ත අනුව අපේ රටේ ළමා ශ්‍රමය භාවිතා කිරීමේ චෝදනාව තියෙන්නේ සියයට 0.9යි. ඒත් ලෝකයේ ලොකුම රටවල්, ලෝකයේ ලොකුම පොලිස්කාරයා වුන රටෙත් ළමා ශ්‍රමිකයින් මිලියන 20ක් ඉන්නවා.
ළමා ශ්‍රමය වැළැක්විමට හැකියාව ලැබෙන්නේ ළමා ශ්‍රමය ඇතිවීම වැළැක්වීම සඳහා වන පසුබිම නිර්මාණය කිරීම මගිනුයි. ඒ නිසා තමයි පසුගිය මාර්තු මාසයේ ඉදලා ගෙවල්වලට සහනාධාර දුන්නේ. සහල් ලබාදුන්නා. බැංකු ගිණුමටම මුදල් ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ආහාර සුරක්ෂිතතාවය පවතින තැන් ගැන සොයා බැලුවා. ඒවාට උත්තර ලබාදුන්නා. ප්‍රජා මුළුතැන්ගෙවල් පටන් ගත්තා. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී අවධානය යොමුවුනා. දෙසැම්බර් මාසයෙන් පස්සේ රටේ කන්න නැතිවේවි කියලා සමහර විශේෂඥවරියන් මාධ්‍යයට ඇවිත් කිව්වා. ඒත් ඒ තත්යවය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණා.
අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැලණි ගඟෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ. රටේ ව්‍යවසායකයෝ හදන්න කවුරුවත් උත්සාහ ගන්නේ නෑ. අපි හිර කරලා තියෙන්නේ. රටේ ඊ.පී.එෆ් ගෙවන ව්‍යාපාරිකයින් ඉන්නේ අසූ දහසයි. ආදායම් බදු ගෙවන ආයතන තියෙන්නේ දෙලක්ෂ අසූ දහසයි. අපේ රටේ මුල ඉදලා ව්‍යවාසයකත්වය ඉගැන්නුවොත් ළමා ශ්‍රමය කියන එක අයින් කරන එක අමාරු නෑ. දරුවන් විවෘතව හිතලා ඉහළට යන්න ඕන”