අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
අන්දමන් දූපත් ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන සියලුම බහුදින ධීවර යාත්‍රාවලට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වී ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.
අදාළ අඩු පීඩන කලාපය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව, දිවයිනට නැගෙනහිරින් පිහිටි, විශේෂයෙන්ම අන්දමන් දූපත් ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මෙම කාලගුණික තත්ත්වය හටගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අද (21.09.2026) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බලවත් වී ඉන්දියාව දෙසට ගමන් කර ඉන්දීය ගොඩබිම වෙත ළඟාවීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එහි බලපෑම සම්පූර්ණයෙන් පහව යාමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
ඒ අනුව, අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට සහ කාර්ය මණ්ඩලවලට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වී වෙරළ දෙසට හෝ වෙනත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස දැනටමත් දැනුම් දී ඇති බවද ඔහු පැවසීය.
අන්දමන් සහ බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශ ආශ්රිත මුහුදු ප්‍රදේශයේ රැකියාවේ නියුතු යාත්‍රා කඩිනමින් මෙම අඩුපීඩන කලාපයෙන් දුරස් වීම සඳහා ලංකාව දෙසට (දක්‍රණු දිශාවට) යාත්‍රා කරන ලෙස දැනම් දෙනු ලැබේ
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ තවමත් බහුදින ධීවර යාත්‍රා කිහිපයක් ධීවර කටයුතුවල නිරත වන බව නිරීක්ෂණය වී ඇති බවත්, එලෙස දිගින් දිගටම ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි රළු මුහුදු තත්ත්වය සහ තද සුළං හේතුවෙන් යාත්‍රාවලට මෙන්ම එහි සිටින කාර්ය මණ්ඩලයටද අනතුරු සිදුවිය හැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
මේ අතර, අඩු පීඩන කලාපයේ බලපෑම දිවයින වටා පිහිටි සෙසු මුහුදු ප්රදේශවලටද දැනීමේ හැකියාවක් පවතින බැවින්, කුඩා පරිමාණ ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් එදිනෙදා පවතින මුහුදු තත්ත්වය සහ සුළඟේ වේගය පිළිබඳව සැලකිලිමත් වෙමින් කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පවතින තත්ත්වය මත පදනම්ව දිවයින පුරා ධීවර කටයුතු තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදනවලට අනුකූලව ධීවර කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් වරින් වර නිකුත් කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන සහ ආරක්ෂිත උපදෙස් ඉතා අවධානයෙන් අනුගමනය කර, මුහුදු යාම හෝ නොයාම පවතින මුහුදු තත්ත්වය අනුව තීරණය කරන ලෙස අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවරයින්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම, ධීවර කටයුතු සඳහා මුහුදු යන අවස්ථාවේදී, මුහුදේ ධීවර කටයුතුවල නිරත වන විට සහ නැවත වෙරළට පැමිණෙන අවස්ථාවේදී ජීවිත ආරක්ෂක කබා (Life Jackets) අනිවාර්යයෙන්ම පැළඳ සිටින ලෙසද ධීවරයින්ගෙන් ඉල්ලා සිටියේය.
අතීතයේදී අයහපත් කාලගුණික තත්ත්වයන් පැවති අවස්ථාවලදී කාලගුණ නිවේදන සහ ආරක්ෂිත උපදෙස් නොසලකා හැරීම මෙන්ම ජීවිත ආරක්ෂක කබා නොපැළඳීම හේතුවෙන් මිනිස් ජීවිත අහිමි වූ සිදුවීම් වාර්තා වී ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
මෙවැනි තත්ත්වයක් හමුවේ, වර්තමාන කාලගුණික වෙනස්කම් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ධීවරයින් ආරක්ෂිත උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නවතම කාලගුණ නිවේදනවලට අනුකූලව දැනට නිකුත් කර ඇති උපදෙස් අවශ්‍ය පරිදි සමාලෝචනය කර සංශෝධනය කරන බවද සඳහන් වේ.
එම ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට ගොඩබිම සිට දැනුම්දීම් සිදුකර ඇති බවත්, ගුවන්විදුලි සන්නිවේදන උපකරණ (Radio Communication) හරහා යාත්‍රාවල සිටින කාර්ය මණ්ඩල වෙතද වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවත් අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.