Sunday, May 04, 2025
Follow Us
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ලොකු පැටී මෙරටට ගෙන එයි

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ක්ලබ් වසන්ත නම් පුද්ගලයා ඇතුලුව පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර සිල්වා හෙවත් ලොකු පැටී නම් සංවිධානාත්මක අපරාධකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2025.05.04 වන දින උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන පැමිණියහ.


සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත අපරාධකරුවන් හා සැකකරුවන් රුසක් විදේශගතව සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම සහ විමර්ශන පරිදි ජ්‍යාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත්කර තිබෙන අතර, එලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි මෙරට බරපතල ඝනයේ අපරාධ රැසක ප්‍රධාන සැකකරුවෙකු වන මොහුව පසුගියදා බෙලරූස් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්හ.


මොහු විසින් විදේශගතව සැඟව සිටිමින් ආධාර අනුබල ලබාදී පහත අපරාධ මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.


* 2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර ගරු මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
* 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතල තුවාල සිදුකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
* 2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර ගරු මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
* 2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
එමෙන්ම මෙම ලොකු පැටී යන අයට විරුද්ධව ගරු අධිකරණයේ පහත නඩු විභාග වෙමින් පවතී.
* 2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම.
* 2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
* 2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
* 2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
* 2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.
මොහු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර රඳවාගෙන දීර්ඝව විමර්ශන සිදුකිරීමට නියමිතය.