Saturday, May 03, 2025
Follow Us
යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කරයි

පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ඊයේ (02) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. පොහොර සමාගම්  සමඟ අද දින සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කර ගන්නා ලදී.

යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්,  විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති  මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් සිය එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව ලෝක වෙළඳපොළේ පොහොර මිල වැඩි වුවද, MOP පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවයක් නොපවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ  ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා සඳහන් කළේ, දැනට මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තහවුරු කළ බවයි.

රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින අතර, රට තුළ පවතින මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3200කට ආසන්න වන බවත්, MOP පොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බව ද, රාජ්‍ය පොහොර සංස්ථාවේ සතුව ටොන් 15,000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69000කට ආසන්න වන බව ද සභාපතිවරයා පැවසුවේය. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් රට තුළ පවතින බවත්, තම සමාගම සතුව පවතින මෙට්‍රික් ටොන් 4000ක් ඇති බවත්, ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 5000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

පොහොර හිඟයක් පවතින බැවින් පොහොරවල මිල වැඩිවන බවට ව්‍යාජ පුවත් සංසරණය වීමට හසු නොවී සිටින ලෙස ගොවි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.