Sunday, May 19, 2024
Follow Us
යුනෙස්කෝව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තරයටත් සතිමත්බව ගෙනයනවා

පාසල් පද්ධතිය තුළ මෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් සතිමත්බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් නිසි මානසික ඒකාග්‍රතාවකින් යුතු ව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමටත් ගුරුභවතුන්ට නිසි ලෙස ඉගැන්වීම් සිදු කිරීමටත් අවකාශ සැලසෙන අතර එමගින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස, වඩාත් කාර්යක්ෂ්ම හා ඵලදායී අයුරින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවති ගෝලීය සති සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ ලොව ප්‍රකට වෛද්‍ය විද්‍යාලවල පවා දේශන පැවැත්වීම 30%කට සීමා වන අතර ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සඳහා වැඩි ඉඩක් ලබා දෙන බවයි.
මේ සම්බන්ධ අවධානය යොමු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධානීන්ගේ ද සහභාගීත්වය සහිත ව මෙම පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා විද්‍යා තාක්ෂණ විෂය පදනම් කරගත් කුමන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් තුළ වුවත් අවසන් විග්‍රහයේ දී මානසික ඒකාග්‍රතාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයක් බව ද අවධාරණය කළේ ය.
ඒ අනුව සතිමත්බව පිළිබඳ සංකල්පයේ ඇති වැදගත්කම නිසා ම එය ජාත්‍යන්තර තලය දක්වා ගෙන යෑමේ අපේක්ෂාවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ඊට ප්‍රථමයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසී ය.
ඒ අනුව තවත් ඉදිරි පියවරක් තබවමින් එළඹෙන මැයි 23 දින පැරිස් නුවර දී වෙසක් දිනය සමරන අතර ම යුනෙස්කෝ සංවිධානයටත් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මෙහි දී පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට තමන් තේරී පත් ව සිටීම මෙහි දී යම් පහසුවක් වන බවත් ඉදිරියේ දි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද මෙම සංකල්පය ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බවත් සඳහන් කළේ ය.
මෙම සතිපාසල් සංකල්පයේ නිර්මාතෘවර පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමියන් සමග ක්‍රියාකාරී ව පවත්වාගෙන ගිය සතිපාසල් වැඩසටහන වසර දෙකක කාලයක් තුළ දිවයින තුළ හා දිවයිනෙන් ඔබ්බට ද ගෙන යෑමට හැකි වූ බව ද පැවසූ අමාත්‍යවරයා මේ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ව කලාප මට්ටමින් ක්‍රියාත්මක වන බව ද කී ය.
මේ කාර්ය ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ කැපවීම හා සහයෝගය අත්‍යවශ්‍ය බව ද හෙතෙම මෙහි දී පැවසීය.
මේ අවස්ථාවට පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා ගෝලීය සති සමුළුවේ සභාපති රංජන් වලපොල යන මහත්වරු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු එක් ව සිටියහ.