ලොව ඔලිම්පික් සහ ආසියානු ක්රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම බහුවිධ ක්රීඩා උළෙල වන 23වැනි පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ආරම්භ විය.
අගෝස්තු 2 දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 74කින් ක්රීඩක ක්රීඩිකාවන් 3,000කට ආසන්න පිරිසක් සහභාගී වන අතර, පිරිවැය සීමා කිරීමේ අරමුණින් ක්රීඩා ඉසව් සංඛ්යාව 10ක් දක්වා අඩු කර තිබේ.
තරඟ ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක සීමාවක් තුළ පිහිටි ප්රධාන ක්රීඩා සංකීර්ණ 4කදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, 2014 වසරෙන් පසු ස්කොට්ලන්තය පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය දරන දෙවැනි අවස්ථාව මෙයයි.
ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 40 දෙනෙකු මෙවර තරගාවලියට එක්වන අතර ඔවුන් ක්රීඩා ඉසව් 7කදී තරග වැදීමට නියමිතය.