Friday, September 12, 2025
Follow Us
පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් - කථානායක

පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් බව පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

 

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (05) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහ චීන තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නගර සභා කාර්යාල පරිශ්‍රයේ දී පැවති චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රීකයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම සදහා ජීවනෝපාය වර්ධනය කිරීමේ උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෙම අවස්ථාවේදී රුපියල් මිලියන පහළොවක් පමණ වන වටිනාකමකින් යුත් මහන මැශින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කෙරෙණි.

එයට අමතරව චීන රජයේ ආධාර මත ඉදිකරන ලද පොළොන්නරුව විශේෂිත ජාතික වෘක්කවේද රෝහලේ සෞඛ්‍ය  කටයුතු හා ඉදිරි සංවර්ධන  කටයුතු සිදුවිය යුතු  ආකාරය  පිලිබදව සොයා බැලීමටද චීන තානාපතිවරයා එක්වූ අතර චීන රජය විසින් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය හා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල සදහා සිදුකරනු ලබන දායකත්වය අගයමින් චීන තානාපතිවරයාට විශේෂ  සමරු තිළිණයක්ද   ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය  ගරු නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා, නිවාස ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක මහතා, පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව  ජාතික වෘක්කවේද රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩිල්කා සමරසිංහ මහත්මිය සහ චීන නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය  නිළධාරීන් පිරිසක්ද සහභාගීවී සිටියහ.