Thursday, November 19, 2026
Follow Us
ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින සංශෝධනයක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.

ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන නව දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සංශෝධිත සම්මුඛ පරීක්ෂණ දිනයන් මෙසේය.

පළාත

නව දිනය

බස්නාහිර

2026.11.29

උතුරු

2026.11.28

වයඹ

2026.11.29

මධ්‍යම

2026.12.01

ඌව

2026.11.26

දකුණු

2026.11.28

නැගෙනහිර

2026.11.28

සබරගමුව

2026.11.28

උතුරු මැද

2026.11.26

කෙසේ වෙතත්, අදාළ පළාත්වල 2026 නොවැම්බර් 21 වැනිදා සිට ඉදිරියට පැවැත්වීමට සැලසුම් කර ඇති සම්මුඛ පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

මේ අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි සමඟ යොමු කළ නිවේදනයේ සඳහන් පරිදි පාසල් මනාප පළ කිරීම සඳහා තොරතුරු ඇතුළත් කළ හැකි මාර්ගගත පද්ධතිය මේ වන විට සකස් කර තිබේ. එය 2026 නොවැම්බර් 19 වැනිදා සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙහි Teacher Recruitment Application System යටතේ ප්‍රදර්ශනය කෙරේ.

අයදුම්කරුවන්ට තමන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන දිනයේ රාත්‍රී 8.00 දක්වා එම පද්ධතියට පිවිස පාසල් මනාප පළ කිරීමේ අවස්ථාව හිමිවන අතර, නොවැම්බර් 19 වැනිදායින් පසුව ද එම පද්ධතිය අවලංගු නොවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

තවද, සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන දිනය වන විටත් කැඳවීම් ලිපිය ලැබී නොමැති අයදුම්කරුවන්ට, 2026 ඔක්තෝබර් 30 වැනිදා වෙබ් අඩවියේ පළ කරන ලද නාමලේඛනයේ තම නම ඇතුළත් පිටුවේ පිටපතක් සහ අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛන රැගෙන අදාළ සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පිහිටි Waiting Room වෙත එදින උදෑසනින් පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

එහිදී උදෑසන 8.00 සිට මාර්ගගත පද්ධතියට පිවිසීම සඳහා අවශ්‍ය අවසර ලබාදීමට කටයුතු සලසා ඇත. ඒ අනුව, අදාළ උපදෙස් පරිදි මාර්ගගත පද්ධතියට පිවිසීමේ කටයුතු සිදුකරන අතරතුර සම්මුඛ පරීක්ෂණයට ද ඉදිරිපත් වීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ.

එමෙන්ම, සම්මුඛ පරීක්ෂණයට සහ ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වූ පසුව ද එදින රාත්‍රී 8.00 දක්වා අදාළ පරිශ්‍රයේ පිහිටි Waiting Room වෙත පැමිණ පාසල් මනාප ඇතුළත් කළ ලේඛන මුද්‍රණය කර භාරදීමට පහසුකම් සලසා ඇති බව ද දැනුම් දී ඇත.

මෙම කටයුතු හේතුවෙන් අයදුම්කරුවන්ට සිදුවී ඇති අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.