2025 සැප්තැම්බර් 08 වැනි දින ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම තහවුරු කිරීම පිණිස රට තුළ පරිවර්තනයක් සහ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහිලා රජය සතු කැපවීම සහ දේශපාලන අභිමතය අවධාරණය කළේය.
දේශීය ක්‍රියාවලීන් හරහා ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමෙහිලා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අමාත්‍යවරයා අවධාරණය කළ අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කාලය සහ අවකාශය ලබා දෙන ලෙස අමාත්‍යවරයා කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය.
බහරේන්, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, අයිවරි කෝස්ට්, පිලිපීනය, ජපානය, ලාඕස් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජය, තායිලන්තය, වනවාටු, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය, එරිත්‍රියාව, ඉරානය, නේපාලය, ඉන්දියාව, සිම්බාබ්වේ, වියට්නාමය, චීනය, අසර්බයිජානය, ඉන්දුනීසියාව, තුර්කිය, බෙලරුස්, ඊජිප්තුව, වෙනිසියුලාව, මාලදිවයින, කියුබාව, දකුණු සුඩානය, සුඩානය, රුසියානු සමූහාණ්ඩුව සහ බුරුන්ඩි යන රටවල් ඇතුළත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය වෙනුවෙන් කුවේට් ඇතුළු රටවල් 43 ක් අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී අදහස් දැක්වූහ.
ඉහත රටවල් විසින් ශ්‍රී ලංකාවට සහයෝගීතාව ප්‍රකාශ කරමින්;
- මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කිරීම සහ මහ කොමසාරිස්වරයාගේ සංචාරය කවුන්සිලය සමග වර්ධනය කරගත් සහයෝගීතාවේ සලකුණක් ලෙස පිළිගනු ලැබිණි.
- රට තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ, සැලකිය යුතු වර්ධනයන් සහ ප්‍රගතිය පිළිගනු ලැබූ අතර, ජාතික වශයෙන් හිමිකාරීත්වය දරන ක්‍රියාවලීන්හිදී ශ්‍රී ලංකාවට සහය වීමට මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප්‍රජාව දිරිමත් කරනු ලැබිණි.
- සම්පත් සීමා වීම හේතුවෙන් කවුන්සිලයේ බලාත්මකභාවයන් අවදානමට ලක්කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ වන බාහිර යාන්ත්‍රණය වෙනුවෙන් සම්පත් වෙන් කිරීම පිළිබඳව ප්‍රශ්න කරනු ලැබිණි.
- බාහිරව පනවා ඇති සමාන්තර ක්‍රියාවලීන් මගින් ධ්‍රැවීකරණය ඇතිවීමේ අවදානමක් පවතින බව අවධාරණය කරනු ලැබිණි.
- ඉලක්කගත රටවල් මත නිශ්චිත යාන්ත්‍රණ පැනවීම තුළින් මානව හිමිකම් කවුන්සිලයේ සර්වසාධාරණත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකතාව සහ තෝරා නොගැනීම යන ආරම්භක මූලධර්මවලට පටහැනි බව ප්‍රකාශ කරනු ලැබිණි.
- රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා මානව හිමිකම් මෙවලමක් ලෙස යෙදීම, දේශපාලනීකරණය සහ ද්විත්ව ප්‍රමිතීන් යොදාගැනීම පිළිබඳ කනස්සල්ල පළ කරනු ලැබිණි.
- මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කවුන්සිලය තුළ ඵලදායී සංවාදයක සහ සහයෝගීතාවේ ඇති වැදගත්කම අවධාරණය කරනු ලැබිණි.
මෙම වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සහ දේශපාලන හා ආගමික නායකයින් සහ ප්‍රජාවන් හමුවී විවෘත සංවාද සිදු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සිය ප්‍රසාදය පළ කළේය.
ජිනීවා නුවර පැවැති 60 වැනි මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නායකත්වය ලබා දුන් අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති හිමාලි අරුණාතිලක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, දයානි මෙන්ඩිස් යන මහත්මීන් සහ ජිනීවාහි නිත්‍ය දූත මණ්ඩලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු මෙම දූත පිරිසට ඇතුළත් වූහ.
- විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය