පකිස්ථානු මහකොමසාරිස් මේජර් ජනරාල් Faheem UI Aziz මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) දින කෘෂිකර්ම අමාත්යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවේදී පකිස්ථානු මහකොමසාරිස්වරයා ශ්රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින අන්යොන්ය සම්බන්ධතාවය දීර්ඝකාලයක සිට පැවත එන්නක් බව සිහිපත් කළේය.
විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරතුරුව ශ්රී ලංකාවට අවශ්ය සහය ලබා දෙන බව ප්රකාශ කළේය.
ශ්රී ලංකාව ඉතා වැදගත් රටක් වශයෙන් සළකන නිසා ශ්රී ලංකාවට අවශ්ය ඕනෑම සහයෝගයක් ලබා දීමට පකිස්ථානය ඉදිරිපත් වන බව පකිස්ථානු මහකොමසාරිස්වරයා විශේෂයෙන් සඳහන් කළේය.
පකිස්ථානය කෘෂිකර්මාන්තයෙන් ඉදිරියෙන් සිටින බැවින් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට අවශ්ය තාක්ෂණික සහය ලබා දීමට මෙහිදී පකිස්ථානය සිය එකඟතාවය පළ කළේය. එහිදී පශු සම්පත් ක්ෂේත්රයේ දියුණුවට අවශ්ය තාක්ෂණය ලබා දිය හැකි බව ද, බැටළු කර්මාන්තය දියුණු කිරීමට අවශ්ය තාක්ෂණය ලබා දිය හැකි බව ද සඳහන් කළේය.
දැනට ලංකාවේ ක්රියාත්මක වන Dairy Hub සංකල්පය කෙරෙහි ප්රසාදය පළ කළ මහකොමසාරිස්වරයා ලංකාවේ පශු සම්පත් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් දිය හැකි සහයෝගය පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන ලදී.
ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ අධ්යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොමසාරිස්වරයා කෘෂිකාර්මික දැනුමෙන් ලාංකික තරුණයින් සවිබල ගැන්වීම සඳහා පකිස්ථානයට ශිෂ්යත්ව ලබා දිය හැකි බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ඩී.පී.වික්රමසිංහ මහතා ඇතුලු පකිස්ථානු නියෝජිතයන් ද සහභාගී වූහ.