නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මහලේකම් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතාගේ නායකත්වයෙන් යුත් නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් පසුගියදා (16) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූවාය.
දින පහක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නේපාල දූත පිරිසට ෆෙඩරල් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ලේකම් ආචාර්ය රොජ්නාත් පාණ්ඩේ; ඒකාබද්ධ ලේකම් ලක්ෂ්මි ප්‍රසාද් ගෞතම්; උප ලේකම් භෝජ්රාජ් ෂර්මා පෝඩෙල්; සහ ෆෙඩරල් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ උප ලේකම් රේඛා උපාධ්‍යාය ඛනාල් මහත්මිය ඇතුළත් වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ නියෝජ්‍ය වේත්‍රධාරි අචින්ත කුරේ යන මහත්වරු විසින් නියෝජිත පිරිස පාර්ලිමේන්තුවට උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ පැවති හමුවේදී, දෙරටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කෙරිණි. කථානායකවරයා මෙහිදී අවධාරණය කළේ මෙරට යහපාලනය වැඩිදියුණු කිරීම, දූෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් වැදගත් නීති මාලාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වර්තමානයේ පනවමින් සිටින බවයි. එමෙන්ම මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ නීති අංශයක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය ක්ෂේත්රයේ පරිපාලන නිලධාරියෙකු ලෙස නේපාලයේ මීට පෙර සිදු කළ සංචාරය සිහිපත් කළ කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතා එරට ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය.
නියෝජිත පිරිස වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතා කථානායකතුමාට සිය කෘතඥතාව පළ කළේය. දෙරටේ පාර්ලිමේන්තු අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම හමුව වැදගත් වන බව සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසකට නේපාලයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ආරාධනා කළේය.
නේපාල දූත පිරිස ඊයේ (17) නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ද හමුවූ අතර, දෙරටේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ කර්මාන්ත යන අංශ පිළිබඳව එහිදී සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමස්ත ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී තවදුරටත් අවධානය යොමු විය.
සංචාරය අතරතුර, නේපාල නියෝජිත පිරිස පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සමඟ ද සාකච්ඡා පැවැත්වූහ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව ඇය විසින් හඳුන්වා දෙන ලද අතර රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ව්‍යුහය, කමිටු ක්‍රමය සහ මහජන සම්බන්ධතා මුලපිරීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ඒහිදී නියෝජිත පිරිසට ලබා දීම සිදුවිය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් පාර්ලිමේන්තු පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් සකස් කරමින් පවතින බව ද ඇය අවධාරණය කළාය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය (Parliamentary Budget Office) පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා හමුවූහ. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ රාජකාරි සහ කාර්යයන් මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ ක්‍රියාවලිය පිළිබඳව අබේරත්න මහතා ඒහිදී පැහැදිලි කළේය.
ඊට අමතරව, නේපාල නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම කමිටු ක්‍රමය පිළිබඳව ද එහිදී විශේෂ අවධානයක් යොමු විය. අධ්යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා සහ පනත් කෙටුම්පත් කාර්යාලය, සභාලේඛන කාර්යාලය සහ කමිටු කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් නියෝජිත පිරිස සමඟ දැනුම හුවමාරු කර ගත්හ.
නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරයක ද නිරත වූ අතර කථානායකවරයාගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතුද නිරීක්ෂණය කළහ. අනතුරුව එදින පැවති දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ රැස්වීමට ද ඔවුන් සහභාගී වූහ.