ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය අදයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊට සහභාගි වනවා.
සමුළුව අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ඉන්දීය නියෝජිත පිරිස අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
ඒ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වී ඇත්තේ එරට කම්කරු හා රැකියා අමාත්‍යංශයේ උප ඇමති සහ ලේකම් මන්දනා ගුර්නානි මෙනෙවිය ඇතුලු පිරිසක්.
මෙම ඉන්දු - ලංකා ද්වීපාර්ශවීය සාකච්ඡාවේදී අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
එහිදී ඉන්දීය නියෝජිත පිරිස ප්‍රකාශ කළේ අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සියරටේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේද එම වැඩපිලිවෙල දියත් කිරීම සඳහා ඉන්දීය සහාය අපේක්ෂා කරන බවයි.
එම ඉල්ලීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟත්වය පළ කර තිබෙනවා.
ඊට අමතරව දෙරට අතර යෝජිත සමාජ ආරක්ෂණ සම්මුතිය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණා.
යෝජිත සම්මුතිය මඟින් කඩිනමින් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය එහිදී කැමැත්ත පළ කළා.
එමෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව දෙරටේ නියෝජිතයන් අදහස් හුවමාරු කර ගත් අතර එහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
මෙම ද්වීපාර්ශවීය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා
හි මෙරට මහ කොමසාරිස් හිමාලි අරුණතිලක, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වසන්තන් යන මහත්ම මහත්මීන් සහභාගි වුණා.
ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යංශයේ උප ඇමති සහ ලේකම් මන්දනා ගුර්නානි මෙනෙවිය සමග මෙම සාකච්ඡාව වෙනුවෙන් සහභාගි වුණේ ජිනීවාහි ඉන්දීය තානාපති අරින්දම් බාග්චි, ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චාමන් ගුලේරියා, කම්කරු හා ආර්ථික පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආලොක් චන්ද්‍රා ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් මේ සදහා සහභාගී වූහ.