Wednesday, May 21, 2025
Follow Us
ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකක දුරකථන සංවාදයකින් පසු ගත් තීරණය

සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා වහාම ආරම්භ කරන බව අ‍මෙරිකාව පවසයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඊයේ පැවති දුරකථන සංවාදයකින් පසු ට්‍රම්ප් මේ බව නිවේදනය කර ඇත.

පැය දෙකක් පුරා ඇදී ගිය සංවාදය “ඉතා හොඳින්” සිදු වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමය සඳහා කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බව ද ඔහු පවසා ඇත.

“අනාගත සාම ගිවිසුමක් පිළිබඳ සංදේශයක්” මත යුක්‍රේනය සමඟ වැඩ කිරීමට සූදානම් බව පුටින් කියා සිටි බව ට්‍රම්ප් සඳහන් කළේය.

නමුත් කොන්දේසි විරහිතව දින 30ක සටන් විරාමයක් සඳහා බ්‍රිතාන්‍ය සහ යුරෝපීය රටවලින් කළ ඉල්ලීම් පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා සළකා බලා නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ට්‍රම්ප්, පුටින් සමඟ කළ සංවාදයට ධනාත්මක බව ප්‍රකාශ කර ඇතත්, සාම සාකච්ඡා කවදා සිදුවේද යන්න හෝ සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් සම්බන්ධයෙන් රුසියාව කිසියම් සහනයක් ලබා දීමට සූදානම්ද යන්න පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

පූර්ණ සහ කොන්දේසි විරහිත සටන් විරාමයක් සඳහා තම රට සූදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා ට්‍රම්ප් සමග ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පුටින් සමඟ ට්‍රම්ප්ගේ සංවාදයට පෙර කතා කරමින් සෙලෙන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේනය පිළිබඳ ඕනෑම තීරණයක් තම රට නොමැතිව ගත නොහැකි බව තමා ඉල්ලා සිටි බවත්, ඒවා යුක්රේනය සඳහා “ප්‍රතිපත්තිමය කරුණු” ලෙස හැඳින්වූ බවත්ය.

Dinamina