Monday, February 09, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් (Sandile Edwin Schalk) මහතා පැවසීය.

අප්‍රිකානු මහ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත දකුණු අප්‍රිකානු රජයේ සුභපැතුම් එක් කරමින් පසුගියදා (15)  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම, මෙරට නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.