Friday, May 17, 2024
Follow Us
චීනයේ පැවති "19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුවට" ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.


‘Oceans with a Shared Future’ යන තේමාව යටතේ රටවල් 29 ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ (Central Military Commission) උප සභාපති Zhang Youxia මහතා විසින් සිදුකෙරිණි.
එහි දී Zhang Youxia මහතා විසින් චීනයේ සන්නද්ධ හමුදා සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවයට ක්‍රියාකාරීව සහභාගී වන බවත්, ජාත්‍යන්තර හමුදා සහයෝගීතාවයේ දී චීනය වඩාත් ධනාත්මක සහ විවෘත භූමිකාවක් ඉටු කරන බවත් ප්‍රකාශ කෙරිණි.
එමෙන්ම, මෙම සමුළුවට සමඟාමීව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ මහජන චීන හමුදා දේශපාලන කොමසාරිස් Admiral Yuan Huazhi (Political Commissioner of PLAN) අතර ද්විපාර්ශ්වික හමුවක් සිදු කෙරුණු අතර, එහි දී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් අදහස් හුවමාරුවක් ද සිදුකෙරිණි.
තව ද, කලාපීය සහ කලාපීය නොවන සමුද්‍රීය පාර්ශ්වකරුවන් සහභාගි වන මෙවැනි නාවික සමුළු සඳහා සහභාගී වීමෙන්, සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සහ නිදහස් මුහුදු ගමනාගමනය ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන සාමූහික මෙහෙයුම් සඳහා ඉදිරියේ දී වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දායක වීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත හිමිවනු ඇත.