Monday, April 29, 2024
Follow Us
කටුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජපානෙන් ඩොලර් මිලියන 8.4ක ප්‍රදානයක්

2023 වසරේ කටුනායක ගුවන්තොටුපලින් මිලියන 1.5 කට ආසන්න විදේශිය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ එම සංඛ්‍යාව තවදුරටත් වැඩි වන බවට සංචාරක කේෂත්‍රයේ නිරතවන්නන් පුරෝකථනය කර ඇත.

එම සංචාරකයින් ගුවන්තොටුපලවලට අමතරව වරායන් හරහා ද ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

එම හේතුවෙන් , විදේශිකයින් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ කොලඹ වරායට ලබා දීමට ජපන් රජය කටයුතු කර ඇත.

මෙම ප්‍රදානය යටතේ ලබා දෙන පලමු උපකරණ තොගය 2024.04.10 වන දින කටුනායක ගුවන්තොටුපලේ දී ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාර දෙන ලදී.

සංක්‍රමණිකයන් සඳහා වු ජාත්‍යන්තර සංවිධානය ( IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍ර වලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බල පත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රවේශ පාලන පද්ධතියක්ද ලබා දීමට කටයුතු කර ඇත.

මෙයට අමතරව කටුනායක ගුවන්තොටුපල තුල ඒකක 150 කින් යුතු සුහුරු ( Smart) වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.