Friday, May 03, 2024
Follow Us
තායිලන්ත ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන සාකච්ඡා කරයි

පසු ගිය පෙබරවාරි මස 04 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යතුමා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති කරගත් වෙළද ගිවිසුම අනුව තායිලන්තයේ විවිධ අංශවල ව්‍යාපාරකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රඡාව හමුවී ඔවුන්ගේ ආයෝජන මෙරට යෙදෙවීම ගැන සාකච්ඡා පවත්වමින් සිටී.

ශ්‍රි ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුම අනුව තායිලන්ත තානාපති කාර්යාලය විසින් එරට ධීවර ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් සමග පසුගියදා ( 01) ධීවර මාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී ධීවර ෂේත්‍රයේ ආයෝජනය කිරීම පිළිබඳව සොයා බැලීය.

තායිලන්ත වෙළෙද නියෝජිත පිරිස තායිලන්ත තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැමිණි අතර එම ව්‍යාපාරික ප්‍රජාව මෙරට ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයන් පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙහිදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය විදේශ ආයෝජකයින්ට මුල්තැනදී කටයුතු කරන  බවත් ඒ අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ඇතිකරගත් වෙළඳ ගිවිසුම තුළ මෙම ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවේ ධීවර ෂේත්‍රයේ ආයොජනය කිරීමට පැමිණිම තමන් ඉතා අගය කොට සළකන බවත් ශ්‍රී ලංකාවේ ධීවර ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ සියලු සම්බන්ධතා ධීවර අමාත්‍යංශය හා ධීවර දෙපාර්තමෙන්තුව හරහා සකස් කර දීමට කටයුතු කරන බවද ඔවුන් සමඟ එක්වී අවශ්‍ය ව්‍යාපෘති සකස් කොට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහ ධීවර අමාත්‍යංශයෙන් දියයුතු උපරිම සහයද  ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, ධීවර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගි වූහ.