Saturday, April 27, 2024
Follow Us
චීන ජනාධිපති  හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි.

ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟවිය. ද්විපාර්ශික සබඳතා, රටවල් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඵලදායීත්වය මත පැවැත්විය යුතු බව අවධාරණය කරමින් එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම  දෙරටටම හොඳ ආදර්ශයක් සපයන බව මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේය.

දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා  සහතික විය. මෙහිදී  චීන ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැම විට ම චීනය පෙනී සිටින බවයි.

පැයකට ආසන්න කාලයක් පැවතී මෙම සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයාගේ පිය පරම්පරාව චීනයට දැක්වූ සහාය පිළිබඳව චීන ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේය. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සෙසු පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය සමග තවදුරටත් සහයෝගය නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී ලබාදුන් සහාය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා  චීන ජනාධිපතිවරයා  වෙත සිය ස්තූතිය පුද කළේය. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. පාසල් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, තාක්‍ෂණය, සංස්කෘතිය සහ ආගම වැනි ක්ෂේත්‍ර සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට ස්තූතිය පළ කළේය.