Friday, May 30, 2025
Follow Us
කුවේට් රාජ්‍යයට නව නායකයෙක්

කුවේට් රාජ්‍යයේ නව නායකයා ලෙස ශේක් මිෂාල් අල් අහමඩ් අල් ජබාර් අල් සබා වැඩ බාරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා එරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව නව එමීර්වරයා පත් වූයේ හිටපු නායක ශේක් නවාෆ් අල් අහමඩ් අල් ජබාර් පසුගියදා ජීවිතක්ෂයට පත් වීම හේතුවෙනි. මීට පෙර කුවේට් රාජ්‍යයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ 83 හැවිරිදි නව රජු අවුරුදු 3ක් ඇතුළත පත් වූ තුන්වැනි කුවේට් රාජ්‍ය නායකයා වේ. අවුරුදු 14ක් කුවේට් පාලකයා ලෙස කටයුතු කළ 91 හැවිරිදි සබා අල් අහමඩ් 2020 වසරේදි අභාවප්‍රාප්ත වීමෙන් පසු පත් වූ 86 හැවිරිදි නවාෆ් අල් අහමඩ්ගේ ධුර කාලය වසර 3කට සීමා විය.

නව රජුගේ පත්වීමත් සමඟ ලොව බොහෝ රටවල රාජ්‍ය නායකයෝ කුවේට් රජුට සුබ පැතූහ. ඔහුගේ පත්වීම වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම කුවේට්හි සිටින ඉන්දීය ජාතිකයන්ට නව රජුගේ පත්වීම ශක්තියක් වනු ඇති බවය.