Saturday, May 31, 2025
Follow Us
‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 දෙසැම්බර් මස 21 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘KRI DIPONEGORO- 365’ යුද නෞකාවේ අණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් WIRASTYO HAPRABU විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සමඟ නිල හමුවන්, පසුගිය 22 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරු කර ගැනීමේ සහ සමරු තිළිණ හුවමාරු කර ගැනීම්ද සිදුකෙරිණි.

තවද, ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.