Saturday, July 27, 2024
Follow Us
ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගිත්වයෙන් 2024 පෙබරවාරි මස 19 සිට 22  දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාව පසුගිය වසර තුන තුළ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන නිල සමුළුව ද මෙම ආසියා පැසිෆික් සමුළුව වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දින හතරක් තිස්සේ පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩ පිළිවෙළක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටලු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාළව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වේ.

ප්‍රධාන උත්සවය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවේ සියලු  කටයුතු කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සිදු කිරීමට නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වන දෙවන වාරය මෙය වන බව ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසිය.

දුෂ්කරම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය පළ කිරීමට තමන්ට හා තම සංවිධානයට හැකි වීම සතුටක් බවත් ඒ මහතා සඳහන් කළේය.

අද  (08) මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, UNFAO ශ්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ද සහභාගි විය.