Saturday, July 27, 2024
Follow Us
සෞඛ්‍ය ලේකම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය අතර විශේෂ හමුවක්

මෙරට සුව සේවාවේ අභිවෘද්ධියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය සේවාවේ පහත සදහන් ක්ෂේත්‍රයන්ගේ අභිවෘද්ධිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ආචාර්ය අලකා සිං මහත්මිය එකඟත්වය පළ කරන ලදි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට එකඟ වූ කරුණු අතර, ඩෙංගු රෝගය මර්දනය සදහා අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යාපෘති සදහා සහයෝගය ලබාදීම, ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවන ප්‍රතිරෝදය වළක්වා ගැනීම සදහා සහයෝගය ලබාදීම, ඉදිරි වසර 10 ක කාලය සදහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිමට අවශ්‍ය දත්ත විශ්ලේෂණය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය තාක්ෂණික සහ කුසලතා වර්ධනය සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම යන කරුණු වේ. 

එමෙන්ම ඉහත කටයුතු වල දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය සහ ජිනීවා ප්‍රධාන කාර්යාලයේ විද්වතුන්ගේ සහයෝගය ලබාදීමට ද මෙහිදී එකඟ වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය විශේෂ ඇගයීමක් ද සිදු කර තිබේ.