Saturday, September 13, 2025
Follow Us
බිපර්ජොයි සුළි කුණාටුව ඉන්දියාවට හා පාකිස්තානයට ඇතුළු වෙයි

මුහුදු සීමාවෙන් ලක්ෂ තුනක ජනතාව ඉවත් කෙරේ

අරාබි මුහුදේ සිට පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයට සහ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ඇතුළු වූ බිපර්ජොයි සුළි කුණාටුවට මුහුණ දීමට දෙරටේම නාවික හමුදාව සීරුවෙන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගුවන් හමුදාවේ ද සහාය ඇතිව විපතට පත්වන පුද්ගලයන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ උදෑසන වන විට ගුජරාට් ප්‍රාන්තයේ මුහුදුබඩ සීමාවෙන් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් ඉවත් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබූ අතර, සින්ද් ප්‍රාන්තයේ ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පාකිස්තානය කටයුතු කර තිබිණි.

වසර ගණනාවකට පසු දෙරටටම සැලකිය යුතු බලපෑම් එල්ල වනු ඇතැයි අනාවැකි පළ වී ඇති බිපර්ජොයි සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී සින්ද් ප්‍රාන්තයට ඇතුළු වීමට නියමිතව තිබූ අතර, ඊට පැය කිහිපයකට පෙර ගුජරාට් ප්‍රාන්තයට ඇතුළු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබිණි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව එම සුළි කුණාටුවට බිපර්ජොයි නම යෝජනා වී ඇත්තේ බංග්ලාදේශයෙනි. බිපර්ජොයි යනු බංගලි බසින් ව්‍යසනය අරුත් ගන්වනු ලබන වදන බව කියැවේ.

Dinamina