Tuesday, November 03, 2026
Follow Us
තරුණ පරපුර මත්ද්‍රව්‍ය හා බෝ නොවන රෝගවලින් මුදා ගැනීමට රජයේ අවධානය

බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි කිරීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්ති ප්‍රදානෝත්සවය අමතමිනි. 

“තාරුණ්‍යය බලගන්වන, සාමූහිකත්වය දිනවන” යන තේමාව යටතේ ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ රටේ පුරවැසියන්, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

තරුණ ජීවිත විනාශ කරන ‘අයිස්’ සහ ‘හෙරොයින්’ ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම අමාත්‍යාංශ කිහිපයක් ද එක්ව කටයුතු කරන බව පැවසූ ඒ මහතා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන තරුණයන් ඉන් මුදාගෙන ඔවුන්ගේ ජීවිතවල ඇති හිස්තැන් ක්‍රීඩාශීලීත්වයෙන් පිරවීම රජයේ වගකීමක් බව ද අවධාරණය කළේය.

පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවූ යුගය අවසන් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. තරුණ ප්‍රජාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි පරිසරයක් මේ වන විට රට තුළ නිර්මාණය වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

රටක් ඉදිරියට ගමන් කිරීම සඳහා ආර්ථිකය ස්ථාවර වීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රීඩාව, කලාව, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු සියලු ක්ෂේත්‍ර ද ඊට සමගාමීව සංවර්ධනය විය යුතු බව අවධාරණය කළේය.

මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙල සඳහා ග්‍රාමීය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූ බවත්, ඔවුන් අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ජයග්‍රහණ ලබා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ගම් මට්ටමේ සිටින දක්ෂ තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන යාම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර තරගාවලියේ සමස්ත සම ශූරතාව ලකුණු 130 බැගින් ලබාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක විසින් දිනාගනු ලැබීය. ලකුණු 106ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමි විය. තරගාවලිය අතරතුර නව පිහිනුම් තරග වාර්තා 21ක් සහ නව තරග වාර්තා 09ක් පිහිටුවීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණආරච්චි, අරුණ පනාගොඩ සහ ජගත් මනුවර්ණ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයන්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ගිහාන් ප්‍රියසාද් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්ව සිටියහ.