රාජ්ය සේවකයන්ගේ විශ්රාමික වැටුප් පිළිබඳ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි
- රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය චන්දන අබේරත්න මහතා
රාජ්ය නිලධාරින්ගේ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද (04) කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. ඒ පිළිබඳව 2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් ප්රකාශයට පත් කෙරිණි.
විශ්රාමික අමාත්යාංශ ලේකම් අශෝක පිරිස් මහතා සභාපති ධුරයත්, නාලක දිසානායක මහතා ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්යාව පහළොවකි.
මෙම කොමිෂන් සභාවට, රාජ්ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්රවණතා සහ ගෝලීය ප්රවණතා අනුව රාජ්ය සේවය කුමන ආකාරයෙන් ව්යුහාත්මකව ප්රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.
සර්වාගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී අදහස් දැක් වූ රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ රාජ්ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ පළමු වතාවට බවත්ය.
රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්යවරයා අවධාරණය කළේය.
රාජ්ය සේවකයින්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් පිළිබඳ ගැටලු දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ගනිමින් සිටියද ඒ සඳහා විද්යාත්මක වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
රාජ්ය සේවයේ එක් ක්ෂේත්රයක සේවකයින්ගේ ගැටලු සාකච්ඡා කර එය විසඳීමට උත්සාහ කළහොත් එයින් තවත් ක්ෂේත්රයක සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට ඇත්දැකීමක් ඇති බවද, ජනාධිපතිවරයාගේ අපේක්ෂාව එවැනි ගැටලු විසඳාගෙන සමස්ත රාජ්ය සේවයටම අදාළ වන විද්යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිම බවද, මෙම කොමිෂන් සභාව එම වගකීම පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරනු ඇති බවද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
රාජ්ය සේවයේ පවතින වැටුප් විෂමතා ඇතුළු දිගුකාලීන ගැටලු සාර්ථක ලෙස විසඳීමට පැවති රජයන් අසමත් වූයේ ඒ සඳහා සැබෑ වුවමනාවක් ඔවුන්ට නොතිබූ නිසා බවද, ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට එම වුවමනාව සහ ඒ වෙනුවෙන් කැප වූ පිරිසක් සිටින බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අමාත්යවරයා මෙසේද පැවසීය.
මෙම කොමිෂන් සභාවට පත් කර සිටින සියලු දෙනා රාජ්ය සේවයේ අත්දැකීම් සහිත වූවන්. ඒ අතර විශ්රාමික රාජ්ය නිලධාරීන්ද සිටිනවා. ඔවුන්ටද මේ ගැටලු පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින්, දැක්මකින් යුතුව ඔවුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳන තෙක් සියලුම රාජ්ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම යෝජනා කළා. ඒ වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමු වන දා සිට වසර තුනක කාලයක් තුළ කොටස් තුනක් ලෙස ක්රියාත්මක වෙනවා. එහි අවසාන වැඩිවීම 2027 ජනවාරි පළමු වන දා සිට රාජ්ය සේවකයන්ගේ වැටුපට එකතු වෙනවා. එම වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමුවන දා සිට විශ්රාම ගිය සෑම රාජ්ය සේවකයෙකුටමත් හිමිවෙනවා. 2025 ජනවාරි පළමුවන දා විශ්රාම ගිය රාජ්ය සේවකයාට විශ්රාම වැටුප හිමිවන්නේ 2027 ජනවාරි පළමුවන දා වැඩි වන වැටුපට අනුරූපවයි.
එලෙස වැටුප් වැඩිකරනු ලැබුවේ තමන්ගේ වගකීම කැපවීමන් සහ උනන්දුවෙන් ඉටු කරන බහුතරයක් රාජ්ය සේවකයින්ට ගරු කිරිමක් හැටියට වගේම ඔවුන්ගේ ගැටලු පිළිබඳව මානුෂීයව දැකපු නිසයි. රාජ්ය සේවයේ ඉතා සුළු පිරිසක් වගකීම් විරහිතව කටයුතු කළත් රාජ්ය සේවකයින් බහුතරයක් තමන්ගේ වගකීම මනා අවබෝධයෙන් සහ කැපවීමෙන් ඉටු කරනවා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඒ බව ඉතා හොඳින් තහවුරු වුණා.
ඒ වගේම වියදම ගැන නොසලකා තමන්ගේ අවශ්යතාව කුමක්ද යන්න ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු රාජ්ය ආයතන දැනුවත් කළා. මේ සියලු දේවල්වලින් ජනාධිපතිතුමා ප්රමුඛ අපේ රජය බලාපොරොත්තු වන්නේ රාජ්ය සේවය ශක්තිමත් කරමින්, යහපත් රාජ්ය සේවයක් පුරවැසියාට ලබා දීමයි.
රාජ්ය සේවයට නව බඳවා ගැනීම් 2020 වසරේ සිට අත්හිටුවා තිබුණේ. එහෙත් අපි බලයට ආවට පස්සේ 120,000ක් රාජ්ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මේ වන විටත් නව බඳවාගැනීම් සිදු වෙනවා.
එහිදි අදහස් දැක් වූ කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ රාජ්ය සේවක වැටුප් විෂමතා පිළිබඳව කලක් තිස්සේ සාකච්ඡා කරමින් පැවති බවත්, කලින් පැවති වැටුප් විෂමතා පිළිබඳ කොමිෂන් සභා වෙත තමන් වෘත්තිය සමිති නියෝජනය කරමින් ගැටලු සහ යෝජනා ඉදිරිපත් කළ නමුත් මේ දක්වා ඒවාට නිසි විසඳුම් නොලැබුණ බවත්ය.
මෙම නව කොමිෂන් සභාව පාර්ශ්වීය ලෙස ප්රශ්න විසඳනවා වෙනුවට ප්රශ්න පුළුල්ව දකිමින්, පුළුල්ව අවබෝධ කරගනිමින්, විද්යාත්මකව විසඳුම් ඉදිරිපත් කිරිමට සමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳීම් පමණක් නොව රාජ්ය සේවකයාගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වැඩිපිළිවෙළක් ඉදිරිපත් කිරිමේ වගකීමද මෙම කොමිෂන් සභාවට පැවරී ඇති බව මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.
මැති ඇමතිවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදාගත් බංගලා සහ මන්දිර මේ වන විට පොදු මහජන සේවා සඳහා යොදවා ඇති අතර, මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙන්නේද හිටපු අමාත්යවරයෙකු භාවිත කළ නිල නිවසේ බවද ජයසිංහ මහතා පැවසීය.
අද (04) දින සිට මාස දෙකක කාලයක් සියලුම වෘත්තීය සමිතිවලට, සංවිධානවලට සහ මහජනතාවට තමන්ගේ ගැටලු හා ඒවාට තමන් ඉදිරිපත් කරන යෝජනා රාජ්ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරිමට අවස්ථාව සැලසේ. මේ පිළිබඳ වන දැන්වීම ත්රෛභාෂාවෙන්ම එළැඹෙන සිකුරාදා දිනයේදී පුවත්පත්වල පළ කෙරෙනු ඇත.
මෙම අවස්ථාවේ දී රාජ්ය සේවක වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා සහ කොමිෂන් සභාවේ ලේකම් නාලක දිසානායක මහතාද අදහස් දැක්වූහ.
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, රාජ්ය නිලධාරීහු, වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.