ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමට නව මංපෙත් විවර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල චීන සංචාරය සාර්ථකව අවසන් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකාවේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතාගේ ආරාධනයකට අනුව 2026 ජූලි 25 සිට අගෝස්තු 02 දක්වා චීනයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළහ.
මෙම නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නායකත්වය ලබා දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඕෂානි උමංගා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්මීහු ඇතුළත් වූහ.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්දාන ප්‍රොටෝකෝල අංශයේ පාර්ලිමේන්තු නිලධාරී ලහිරු පතිරණගේ මහතා ද මෙම සංචාරයට සහභාගි වූහ.
චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂෝ (Guangzhou) නගර කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩසටහන තුළ නිල හමුවීම්, අධ්‍යයන සැසි, ආයතනික සංචාර සහ සංස්කෘතික වැඩසටහන් රැසකට නියෝජිත පිරිස සහභාගි වූහ. ඒ හරහා චීනයේ සංවර්ධන අත්දැකීම්, නවෝත්පාදන පරිසර පද්ධති සහ පාලන ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.
සංචාරය අතරතුර ෂෙන්සෙන් විශේෂ ආර්ථික කලාපයේ සංවර්ධනය සහ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයකට සහභාගි වූ නියෝජිත පිරිස, Huawei Technologies, Tencent, Mindray, BYD ඇතුළු ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන සහ නවෝත්පාදන මධ්‍යස්ථාන වෙත ද සංචාරය කළහ. එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, නවීන කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි.
එමෙන්ම ෂෙන්සෙන් නගර සභාව, ගුවැන්ඩොං පළාත් රජය සහ ගුවැන්ෂෝ නගර සභාවේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු සහයෝගිතාව, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කාන්තා සවිබල ගැන්වීම සහ දෙරට අතර අනාගත සහයෝගිතා අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ෂෙන්සෙන් කාන්තා සම්මේලනය සමඟ පැවති හමුව සංචාරයේ විශේෂ අවස්ථාවක් වූ අතර, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුරැකුම් සේවා, පවුල් සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනීමට එහිදී අවස්ථාව හිමි විය.
මීට අමතරව, ලියන්හුවා හිල් උද්‍යානය, Great Tides Surge Along the Pearl River ප්‍රදර්ශන ශාලාව, ගුවැන්ඩොං කෞතුකාගාරය සහ ගුවැන්ෂෝ මෙට්‍රෝ කෞතුකාගාරය ඇතුළු සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ද නියෝජිත පිරිස සංචාරය කළහ.
මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු සංවාද, ආයතනික සහයෝගිතාව සහ දැනුම හුවමාරුව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ද දායක විය.
සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට, ගුවැන්ඩොං පළාත් බලධාරීන්ට සහ සංචාරය සංවිධානය කළ සියලුම ආයතන වෙත නියෝජිත පිරිස සිය කෘතඥතාව පළ කළහ.