ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු රුපියල් 5,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඊයේ (25) ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළදී ය.
පැමිණිලිකරු සේවය කරන තීන්ත අලෙවි කරන ආයතනයේ වෙළඳ දැන්වීම් පුවරුවක් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සමාගමක (හාඩ්වෙයාර්) ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ගාල්ල මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දීමට සැකකරුවන් කටයුතු කර ඇත. එහිදී ගෙවීමට ඇති මුදල් සටහන් කර දෙනු ලබන ලේඛනය ලබා දීම වෙනුවෙන් "තුටු පඬුරක්" ලෙස රුපියල් 5,000 ක මුදලක් ප්‍රධාන සැකකරු විසින් ඉල්ලා තිබේ.
පළමු සැකකරු අහංගම විතානගේ පුණ්යලාල් ජයම්පති (ආදායම් පරීක්ෂකවරයා) වන අතර දෙවන සැකකරු හියාරේ ගමගේ (වැඩ ක්ෂේත්‍ර කම්කරු - පළමු සැකකරුගේ දැනුම්දීම මත මුදල් භාරගත් තැනැත්තා) යන අය වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.